



(කේ. ඩී. දේවප්‍රිය)
මාස 4 ක කාලයක් සිට ගස් බැඳ තැබූ, රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා සුභ මොහොතින් යදම් වැල්වලින් මුදවා කඳ සුරිඳුගේ පෙරහැර මංගල්‍ය සඳහා සුදානම් කරවීම අද (13) සිදුවිය.
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂිත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙයි. බැතිමතුන් මෙම අලින්ට කෑම බීම දීම මඟිනුත්, අලි ඇතුන් අතපත ගෑම මඟිනුත් ඔවුන්ට ආශිර්වාදයක් ඇති බව දැනෙන බැවින් කතරගමට එන කවුරුත් වාසනා හස්තියා ප්‍රමුඛ අලි ඇතුන්ට කෑම බීම දීමට හුරුව සිටිති.
කතරගම දේවාලයේ ඇසළ මාසයේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යන් හැම එකකදීම දෙවියන් වැඩම වන්නේ වාසනා හස්තියාය. මෙම වාසනා හස්තියාටත් දෙවියන්ගේ පින් බලයෙන් දැඩි සත්කාර බුහුමන් නොඅඩුව ලැබේ.වාසනා මංගල කුළයෙන් එන ඇත් රාජයෙකි. උපන් ප්‍රදේශය අනුරාධපුරයයි. දැනට අවුරුදු 45 කි. දළ යුගල අඩි දෙක හමාරකි. ආසියාවේ සිටින හීලෑ ඇතුන් අතරින් විශාලම හස්තියකු වන වාසනා 1978 දි විමලා කන්නංගර මහත්මිය විසින් දේවාලයට පුජා කරනු ලැබීය. වාසනා හස්තියා වසර 45 ක් පුරාවට දෙවියන් වැඩමවීම සිදුකරමින් පවතී. වනයේ සිටින අලි ඇතුන් මෙන්ම වාසනා ප්‍රමුඛ දේවාලයේ අලි ඇතුන් ද කම්බුල් තෙමීම නම් රෝගයට වසරකට වරක් ලක්වෙති.
මෙම අවස්ථාව ඉතාම අලංකාරවත්ව සිදු කරනුයේ මඟුල් ගෙදරක සිරියක් මවා පාමිනි. අලි ඇතුන්ට වසරකට වරක් වැළදෙන කම්මුල් තෙමීමේ රෝගය හෙවත් මද කිපීම වාසනා හස්තියාටද වසරකට වරක් සිදුවනඅතර එම අවස්ථාවේදී ඇතා පිස්සකු මෙන් හැසිරෙයි. මෙම හේතුව මත ඇතා මාස කීපයක් ගසක බැඳ දමා සාත්තු සප්පායං කරමින් රැක බලා ගන්නා බවත් වාසනා හස්තියා රැක බලා ගන්නා ඇත් ගොව්වා වන අජිත් අසෝක ලියනගේ මහතා පැවසීය.
ඇතා ගසින් ලිහන අවස්ථාවේ දි කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ පැමිණ සෙත් පිරිත් කියා පිරිත් පැන් ඉස ඇතාට ආශිර්වාදය කරති. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා වාසනාට රසකැවිළි ලබා දී සංග්‍රහ කිරීමේ චාරිත්‍රය ඉටුකිරීමද අපූර්ව දසුනකි.
ඇතා ඉදිරිපිට කිරි මුට්ටියක් උතුරවාලීමෙන් පසුව බැඳ තැබු යදම් ගලවා ඇතා නහවා කැවුම් කිරිබත් පළතුරු ආහාරයට ලබා දෙයි. පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කරනු ලබන අතර සැවොම කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා දෙති.
වාසනා හස්තියා දෙවියන් වැඩම වන අතර කිසිදු කලබලයක් නොදක්වන හස්තියෙකි. 1989 දී කතරගම පෙරහැරට බෝම්බ ගැසූ අවස්ථාවේ දී ඇතුටත් තුවාල සිදුවිය. එහෙත් දෙවියන් වැඩම වු කරඬුවට කිසිදු හානියක් නොවන අයුරින් ඇතා දේවාලය වෙත තනියම පැමිණියේය. වාසනා කිතුල් හකුරු කෑමට ප්‍රියතාවයක් දක්වයි. මෙම ඇතා තවමත් කිසිදු අයකුට අනතුරක් කර නොමැත.
අද පැවති මෙම අවස්ථාව සදහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්දහිමි, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ, කතරගම දේවාලයේ කපුමහතුන් වන ලලිත් ටී රත්නායක, පියුෂාන් රත්නායක යන මහතුන් ඇතුලු දේවාල කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු දෙන්නෙක් ප්‍රසිද්ධියේ තියාගෙන ඉන්න දෙවියෙක් හින්දා කැලේ අලියෙකුටවත් නිදහසේ ඉන්න බැහැ. මහලොකුවට හැම ආගමකම කියනවා කියන්නේ.., ආදරය, කරුණාව... ඒත් නැත්තේම ඒක තමයි. මේකේ වටේ ඉන්න කට්ටිය මාස 4ක් ගස් බැඳලා තිබ්බා නම් කොහොමද..? අන්න එ්ක තරම්වත් තේරුම් ගන්න බැරි තිරිසනුන් ටිකක්...
මාස 4 ක කාලයක් මේ සතා විඳපු දුක කතරගම දෙයියන්ටවත් පෙනුණේ නැති එකනේ පුදුමේ...
මේ හස්තියා පෙරහැරේ ගමන් කරනා විට පෙරහැරට අමුතු අභිමානයක් ලැබෙනවා. මේ හස්තියා විලංගුලා සිටින අවස්ථාව මා දැක තිබෙනවා. මද කිපෙන කාලයට අලි ඇත්තු හරි ප්‍රචණ්ඩයි. ඒත්, මේ සතුන් මේ විලංගු වලින් බැඳ තැබීමෙන් ඔවුන් විඳින දුක සුළුපටු නොවේ. අපගේ සම්ප්‍රදාය රැකීමට මේ සතුන් මොනතරම් දුකක් විඳිනවද? ඔවුන් කැලේ සිටියානම්, මේ දැවැන්තයන් ස්වභාවික සැප සම්පත් විඳිමින් හිතේ හැටියට ජලයේ බැස පිහිනමින්, ඒ මේ අත දුවපනිමින්, ස්වභාවික දේ කමින් බොමින් මොනතරම් සතුටක් ලබනවද? මේ තත්ත්වය සංවේදී ආකාරයෙන් මිනිසා වටහා ගන්නා තෙක් මෙම සතුන් මෙසේ දුක් විඳිනු ඇත. මේ සතුන් විඳින දුක මිනිසුන් දේව පූජාවක් කර ගත්තාට දෙවියන් හෝ එය අනුමත නොකරනු ඇතැයි සිතෙන්නේ මට විතරද?
මේ හස්තියා පෙරහැරේ ගමන් කරනා විට පෙරහැරට අමුතු අභිමානයක් ලැබෙනවා. මේ හස්තියා විලංගුලා සිටින අවස්ථාව මා දැක තිබෙනවා. මද කිපෙන කාලයට අලි ඇත්තු හරි ප්‍රචණ්ඩයි. ඒත්.., මේ සතුන් මේ විලංගු වලින් බැඳ තැබීමෙන් ඔවුන් විඳින දුක සුළුපටු නොවේ. අපගේ සම්ප්‍රදාය රැකීමට මේ සතුන් මොනතරම් දුකක් විඳිනවාද? ඔවුන් කැලේ සිටියානම්, මේ දැවැන්තයන් ස්වභාවික සැප සම්පත් විඳිමින් හිතේ හැටියට ජලයේ බැස පිහිනමින්,ඒ මේ අත දුවපනිමින්, ස්වභාවික දේ කමින් බොමින් මොන තරම් සතුටක් ලබනවද? මේ තත්ත්වය සංවේදී ආකාරයෙන් මිනිසා වටහා ගන්නා තෙක් මෙම සතුන් මෙසේ දුක් විඳිනු ඇත. මේ සතුන් විඳින දුක මිනිසුන් දේව පූජාවක් කර ගත්තාට දෙවියන් හෝ එය අනුමත නොකරනු ඇතැයි සිතෙන්නේ මට විතරද..?
ඇතුන්ට ඇතිවන "මද කිපීම" ඔවුන්ට තිබෙන රෝගයක් හෝ වෙනයම් දෙයක් නොව... එය ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියේ සාමාන්‍ය තත්වයක් පමණි. මෙම කාලය තුළදී සාමාන්‍යයෙන් සිදුවන්නේ අලි, ඇතුන් සංසර්ගයේ යෙදීමයි. එබැවින් එවැනි අවධියකදී ඇතුන් ගස් බැඳ තැබීම හෝ පුද පූජා පවත්වීම අර්ථයක් නැති දෙයකි.
මට හිතෙන්නේ වාසනා හස්තියාට දෙවියන්ගේ ඇල්මක්, බැල්මක් වැඩියෙන් තියෙනවා කියලා. ඒකයි එයා කාටවත් කරදරයක් අනතුරක් නොකළේ. පෙර ආත්මයක කළ පවක් නිසා හස්තියෙක් වෙලා ඉපදුණත්, ලබන ආත්මයේ, එයා මනුස්ස ආත්මයක් ලබා බොහෝ පිං රැස් කරගෙන බුදු සමිඳුන්ගේ සරණ යනවා නියතයි.