IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුන්දලම පුනපිටිය වැලි කඳු වනාන්තරය අනාරක්ෂිත තත්ත්වයක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සුන්දර පරිසර පද්ධතියකින් වටවූ මුන්දලම පුනපිටිය ප්‍රදේශයේ පිහිටි සංවේදී  ස්වාභාවික වැලි කඳු සහිත වනාන්තර පද්ධතිය වෙත විවිධ ව්‍යාපෘති සඳහා වන ඇල්ම බැල්ම යොමුවීමෙන් අනාරක්ෂිත බවට පත්වී ඇතැයි පරිසරවේදීහු පවසති. 

වසර කිහිපයට ඉහතදී කූට ලේඛන සකස් කරමින් අක්කර 100 කට වැඩි මෙම සුන්දර පරිසර පද්ධතිය විදේශිකයකුට අලෙවි කිරීමට හවුල් වූ වයඹ පළාත් සභාව නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරයකු පිළිබඳව ද තොරතුරු ලැබී ඇත.

එවකට රාජකාරි කළ  මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයාට 2008-6-17 දින යවන ලද ලිපියේ සඳහන්ව ඇත්තේ මෙම වැලි කඳු සහිත ඉඩම රජයේ ඉඩමක් නොවන බවත්, එය පුද්ගලික ඉඩමක් ලෙස සලකා කටයුතු කිරීමට විරෝධයක් නොමැති බවත්ය.  ඒ අනුව තම ඉඩම් බලතල අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා උල්ලංඝණය කර ඇති බව සනාථ වී තිබේ.

අදාළ ප්‍රදේශීය ලේකම්වරයාගේ ද සහාය ඇතිව කූට ලේඛන සකසා  විදෙස් ජාතිකයාවද රවටමින්  මෙම වැලි කඳු සහිත භූමි ප්‍රදේශය අලෙවි කර ඇත්තේ කෝටි 200 කට වැඩි මිලකට බව හෙළි වී තිබේ.

මෙම විදේශිකයා අදාළ භූමියේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති බව එහි දැනට දක්නට ඇති නටබුන් වලින් තහවුරු වී ඇත.

 නමුත් මෙම භූමිය රජය සතු ඉඩමක් බවට නැවතත් සනාතව ඇත්තේ වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුව විසින් 2017 වසරේ නොවැම්බර් 04 දින රජයේ මිනින්දෝරු ඩබ්ලියු .එම් .සී. ප්‍රනාන්දු මහතා  විසින් කරන ලද මිණුම් වලට අනුවයි. විශාල මුදල් කන්දරාවක් වැය කරමින් ඉඩම මිලදී ගත් විදේශිකයා වන හොවඩ්  මාටින් ස්ටයින් දීර්ඝ කාලීන බදු ඉල්ලීමකට යොමුව ඇති නමුත් අද වන විටත් ඒ සඳහා ඔහුට අවසර ලබා දී නැත.

 මෙම සුවිශේෂ භූමිය වටා කලකට පෙර ආරක්ෂිත වැටක් ඉදි කර තිබුණද එය මේ වන විට කැඩී බිඳී ගොසිනි. නමුත් අදාළ භූමියට ඔහු විසින් සිදු කර ඇති හානිය අවම බව පෙනී යයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු තීරය වැදගත් වන්නේ දැවැන්ත වැලි කඳු පද්ධතියකින් වටව තිබීමත් ඒ නිසාම සුනාමි වැනි ආපදා තත්ත්වයන්හිදී මුහුදු රළ ගොඩබිමට පැමිණීම අවම කිරීමට එය උපකාරී වීමත් හේතුවෙනි.

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් මුහුදු තීරය කිලෝ මීටර් 325 ක් වන අතර මෙම වනාන්තර සහිත වැලි කඳු පද්ධතිය මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කිලෝ මීටර් 25 ක් දක්වා විහිදි යයි. එහි සම්පුර්ණ භූමි ප්‍රමාණය අක්කර 103 ක් බව පැවසේ. ‍

මෙම භූමිය නැවතත් බරපතල අවධානමකට ලක්ව ඇත්තේ ව්‍යාපෘතියකට වැලි අවශ්‍ය බව පවසමින් මේ භුමිය ආශ්‍රිත මුහුදේ සිට වැලි පොම්ප කිරීමේ තත්ත්වයක් පවතින බැවිනි.

මෙසේ වැලි පොම්පකිරීම දිගට ම සිදුවුවහොත් දැඩි කරදිය තත්වයකදී වසර සිය ගණනක් ඉතා ආරක්ෂිතව  පැවති මෙම භූමිය ඉතා සුළු කාලයකදී සම්පුර්ණයෙන් වැනසී යනු ඇතිබව පරිසරවේදීහු පවසති.

 රටේ සංවර්ධන කටයුතු මුවාවෙන් මෙවන් සුවිශේෂ පරිසර පද්ධති වැනසීම නොකළ යුතු බවත් එසේම මෙම භූමිය ද වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට පවරා ගැනීමට කටයුතු කළයුතු බවත් ඔවුහු පවසති. වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව 2017 වසරේ පානම පිහිටි අක්කර 103 කින් සමන්විත වැලි කඳු පද්ධතිය සහිත භූමිය අභය භූමියක් ලෙස නම් කළ ආකාරය මෙහිදී ඔවුහු සිහි කැඳවූහ.

 මේතරම් විශේෂිත භූමියක් තවමත් වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට පවරා ගැනීමට ප්‍රමාද මන්දැයි පුත්තලම දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ සහකාර අධ්‍යක්ෂ මදුනී ප්‍රනාන්දු මහත්මියගෙන් විමසූවිට ඇය  මෙසේ කීවාය.

 “ මේ භූමිය අපිට පවරාදෙන්න කියලා 2017 වසරේදී අපි ඉල්ලීමක් කළා. ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත. ඒ සඳහා අපි මිනුම් අධිකාරියට පවා අදාළ ඉඩම් මැනීම් කර දෙන්න කියලා දන්වා තිබෙනවා. මේ භූමිය විදේශිකයකුට අලෙවි කර තිබුණත් ඒ අලෙවි කිරීම නිත්‍යානුකූල නොමැති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඇත්තටම අපි මේ භූමිය ආරක්ෂා කර ගන්න සුදානම් නමුත් යම් යම් ගැටලු මත එය ප්‍රමාද වී තිබෙනවා. නමුත් අධ්‍යක්ෂ ජනරාල් තුමා අපිව දැනුම්වත් කර තිබෙන්නේ මේ භූමිය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා අපි කඩිනමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු  සියල්ල සිදු කරමින් සිටිනවා.”

  රජයේ ඉඩමක් වන මෙම භූමිය දැනට මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා සතුව පවතී. ඒ නිසා මේ පිළිබඳව මුන්දලම වත්මන්  ප්‍රාදේශීය ලේකම් චානක ප්‍රේමසුරිය මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

“සංචාරක ව්‍යාපාර කටයුතු සඳහාත් නිවාස ව්‍යාපෘතියක් සඳහාත් මේ භූමිය ලබා දෙන්න කියලා දැනට අපට යෝජනා දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සඳහා අදාළ ආයතන අවසර ලබාදුන්නොත් අපි අපෙන් විය යුතු කටයුතු කර දෙනවා. අපි කිසිම විටක අනිකුත් ආයතනවල අවසරයකින් තොරව කටයුතු කරන්නේ නැහැ. එය සංවේදී කලාපයක් කියලා වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කියනවා නම් අපි එයට අදාළව කටයුතු කරන්න කැමතියි. එසේ නැතිව අනවශ්‍ය කටයුතු කරන්න යන්නේ නැහැ” යැයි ඔහු පැවසිය.   

 



අදහස් (0)

මුන්දලම පුනපිටිය වැලි කඳු වනාන්තරය අනාරක්ෂිත තත්ත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site