(කාංචන කුමාර ආරියදාස)

"ලෝක සාමය සෙවීමට පැතීමට පෙර අපි හැමෝම නිවසේ සාමය ඇති කරගනිමු. තරහා නැති කර ගනිමු. වෛරය ක්‍රෝධය ඊරිසියාව තුරන් කර ගනිමු. එවිට මුළු ලෝකයේම සාමය පවතිනවා, " යැයි ලෝක සාමය වෙනුවෙන් පා ගමනේ වැඩම කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ  අද අලුයම දඹුල්ලේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූහ.

‘‘ලෝකේ සාමය වෙනුවෙන් ඇවිදීම‘‘ යන තේමාව යටතේ ගෝලීය සාම පා ගමන ආරම්භ කිරීමට පෙර ඓතිහාසික රන්ගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ පැවැති චාම් උත්සවයකදී පඤ්ඤාකර හිමියෝ එසේ ප්‍රකාශ කර සිටියහ.

"ඔබ අද උදේ පාන්දරම ඇයි මේ ස්ථානයට එන්න තීරණය කළේ. ඔබම හිතන්න ජීවිතය වෙනසක් කරගන්න සාමය පතන්න අපිව දකින්න ආදී කරුණු බොහෝමයක් ඔබට තියෙන්න පුළුවන්. හැබැයි මම ලෝක වටේ ගමන් කරමින් බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ දහම තුළින් ඔබ නිවන් මඟට ගෙන යාම සඳහා ලබාදෙන සාම පණිවිඩයයි අද ඔබට ලබා දෙන්නේ."

"මේ පිළිබඳව ඔබලා මනසින් හොඳට අවබෝධ කරගන්න. සෑම කටයුත්තකදීම ඔබ නිසි සිහිය තබාගන්න. හුස්ම ගන්නා එක පවා අවබෝධයෙන් කරන්න. ඔබට තරහක් වෛරයක් ක්‍රෝධ ඇතිවන සෑම මොහොතකම එය සාමය උදෙසා අවසන් කරන්න. එහි අවබෝධයෙන් වටහා ගන්න. තරහා පාලනය කිරීමට ඉතාම ලේසි ක්‍රමවේදයන් පවතිනවා, තරහක් එන සෑම අවස්ථාවකම සාමය ඉක්මනින් නිවසේ ඇතිකර ගන්න නම් තමන් විසින් හෝ අන් අය කරන දේවල් වලට තරහා නොගන්න"