මෙතෙක් එක් සත්ත්ව විශේෂයක් ලෙස හදුනාගෙන සිටි හල්මල් දණ්ඩියා ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ හතරක් යැයි විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු කිරීමට හැකිවූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
සුදේෂ් බටුවිට, මධුර ද සිල්වා සහ උදේනි එදිරිසිංහ යන මහත්වරුන් විසින් සිදුකරන ලද පරීක්ෂණයක වාර්තාවක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත්කරමින් එම සංවිධානය මේ බව කියා සිටියි.
හල්මල් දණ්ඩියා නැමති සත්ත්වයා මුල්වරට හදුනාගෙන ඇත්තේ ආචාර්ය පී.ඊ.පී.දැරණියගල මහතා විසින් 1930 දී ගිලීමලේ දී ය. මේ මත්ස්‍යයා සත්ත්ව විද්‍යාත්මකව රැස්බොරයිඩස් වෙටරිෆ්ලෝරිස් ලෙස නම්කැරිණි. ඉන්පසු 1957 දී ජර්මනියට මෙරටින් ගෙනගිය හල්මල් දණ්ඩි කිහිප දෙනකු අතර සිටි මාළුවකු හල්මල් දණ්ඩියාගෙන් වෙනස්බව තේරුම්ගත් ජර්මන් ජාතික සත්ත්ව විද්‍යා පර්යේෂක වින්කින් මහතා විසින් එම මත්ස්‍යයා හල්මල් දණ්ඩියා අයත්වන ඝන නාමය යටතේම රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා යනුවෙන් නම් කැර තිබිණි. එලෙස නම් කළ ද ඒ මත්ස්‍යයා කිසි දිනක ශ්‍රී ලංකාවෙන් සොයා ගත නොහැකි වූ බැවින් පසු කලෙක මෙරට මසුන්ගේ නාම ලේඛණයෙන් නිග්‍රොමාජිනාටා ඉවත් කැර තිබිණි. මේ අතර රැස්බොරයිඩස් නමැති ඝන නාමය රැස්බොරා ලෙස නම්කැරිණි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳ දීප ව්‍යාප්ත ව කරන ලද ගවේෂණයක දී 2011 වර්ෂයේ දී මතුගම අත්වැල්තොට දී මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගත නොහැකිව සිටි නිග්‍රොමාජිනාටා විශේෂය සොයාගත හැකිවිය.
පර්යේෂකයන් පවසන්නේ හල්මල් දණ්ඩියා සොයාගත් දැරණියගල මහතා විසින්ම ගාල්ලේ කොට්ටව කෝඹල වනාන්තරයෙන් හල්මල් දණ්ඩියාගේ වෙනත් වර්ණ ප්‍රබේදයක් වාර්තා කැර තිබූ බවයි. එම වර්ණ ප්‍රබේදය pallida ලෙස නම්කැර තිබිණි. දැරණියගල මහතා හැඳින්වූ වර්ණ ප්‍රබේදය බෙන්තර, ගිං සහ නිල්වලා ගංගා නිම්නයන්හි දක්නට ලැබෙන බව ද ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පරීක්ෂණවලින් තහවුරු වී තිබිණි.
ශ්‍රී ලංකාවේ මෙතක් වාර්තා වී ඇති මත්ස්‍ය විශේෂයන්හි මුල් නිදර්ශකය සොයාගත් ස්ථාන පිළිබඳ අවධානය යොමු කළ පර්යේෂක කණ්ඩායමට පෙනී ගියේ හල්මල් දණ්ඩියා සූරියකන්දේ ඇළ මාර්ගයක ද සිටින බවයි.
ඒ පිළිබඳ සුදේෂ් බටුවිට මහතා මෙසේ කීවේය.
'' සාමාන්‍යයෙන් හල්මල් දණ්ඩියා ජීවත් වන්නේ මුහුදු මට්ටමේ සිට මිටර 500 ක් දක්වා උසකින් නමුත් අපිට සූරියකන්දේ දී හමුවූ හල්මල් දණ්ඩියා සිටියේ මීටර 1000ක් පමණ උසකින්. මේ ස්ථානය හල්මල් දණ්ඩියා වාර්තා වූ අනෙකුත් ප්‍රදේශවලින් වෙන්වූ භූ විද්‍යා බාධක සහිතයි. මේ නිසා අපිට පෙනී ගියා මේ තවත් නව විශේෂයක් බව. ඒ අනුව පරීක්ෂණ සිදුකළා. "
ඔවුන්ගේ පරීක්ෂණයෙන් පෙනී ගියේ ගිලීමලේ දී සොයාගත් රැස්බොරා වර්ටිෆ්ලෝරිස්, ජර්මනියේදී වාර්තා වී අත්වැල්තොටින් හමුවූ රැස්බොරා නිග්‍රොමාජිනාටා, කොට්ටව කොඹළ වනාන්තරයෙන් මුල් වරට වාර්තා කළ වර්ණ ප්‍රබේදයක් ලෙස පමණක් සැළකූ මත්ස්‍ය විශේෂය හා සූරියකන්දේ දී හමුවූ මත්ස්‍යයන් එකිනෙක වෙනස් වූ විශේෂ හතරක් බව තහවුරු කැරිණි.
මේ පිළිබද අදහස් දැක්වූ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ කීවේය.
'' රැස්බොරා කියන මත්ස්‍ය ඝනයට අයත් මේ මාළුන්ගේ බාහිරි ලක්ෂණ හා ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ සියල්ල පරීක්ෂා කිරීමේදී පෙනී ගියා මෙතෙක් ශ්‍රී ලංකාවේ හල්මල් දණ්ඩියා ලෙස හැඳින්වූ මාළුවා විශේෂ හතරක් බව. ඒ අනුව අපි ඔවුන්ට වෙන වෙනම නම් ලබා දුන්නා. "
1930 දී ගිලීමලෙන් සොයා ගත් හල්මල් දණ්ඩියාගේ මුල් ම නිදර්ශකයට අයත් එම ස්ථානයේ සිටින මාළුවා පෙර ආකාරයෙන් ම රැස්බොරා වෙටරිෆ්ලෝරිස් Rasbora vaterifloris හෙවත් හල්මල් දණ්ඩියා ලෙස හැදින්වේ. ජර්මනියේදී සොයාග්ත අත්වැල්තොටින් හමුවූ මත්ස්‍යා රැස්බොරා නිග්‍රොමාජිනාටා Rasbora nigromarginata හෙවත් කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා ලෙස හැදින්වේ. කොට්ටව කෝඹල වනාන්තරය සහ තෙත් කලාපයේ බෙන්තොට, ගිං හා නිල්වලා ගංගාවල ජීවත් වන හල්මල් දණ්ඩියා දැරණියගල මහතා භාවිතා කළ වර්ණ ප්‍රබේදයේ නමින්ම නව විශේෂයක් ලෙස නම් කිරීමට ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය කටයුතු යොදා ඇත. සිංහලෙන් පඩුවන් හල්මල් දණ්ඩියා ලෙස හදුන්වන එම මත්ස්‍යයා සත්ත්ව විද්‍යාත්මකව Rasbora pallida ලෙස හදුන්වයි. සූරියකන්දෙන් හමුවූ නව විශේෂය සත්ත්ව විද්‍යාත්මකව නම්කැර ඇත්තේ Rasbora rohani යනුවෙනි. සත්ත්ව විද්‍යා පර්යේෂණවල නිරත වෙමින් අමිල මෙහෙවරක් සිදුකළ රොහාන් පෙතියගොඩ මහතාට ගෞරවයක් ලෙස මේ මත්ස්‍යයා රොහාන්ගේ හල්මල් දණ්ඩියා ලෙස නම් කිරීමට කටයුතු කරමින් එම නම දුන් බව මධුර ද සිල්වා මහතා පවසයි.
මධුර ද සිල්වා මහතා මෙසේ ද කීවේය.
''ශ්‍රී ලංකාවේ රැස්බොරා ඝනයේ මත්ස්‍ය විශේෂ හතරක් දක්නට ලැබීමෙන් ම අපේ රටේ ජෛව විවිධත්ය ඉහළ අගයක් ගන්නා බව තවදුරටත් තහවුරු වෙනවා. මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ මේ මාළු හතරදෙනාගෙන් ගිලීමලේ, අත්වැල්තොට සහ සූරියකන්දේ සිටින මසුන් ශ්‍රී ලංකාවට ආවේණික වීම පමණක් නොවෙයි ඒ ඒ ස්ථානවලට පමණක් ආවේණික වී තිබීමයි. ඔවුන්ගේ වාසස්ථාන අපි ඉතා හො
දින් ආරක්ෂා කළ යුතු වනවා. "
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසන්නේ විසිතුරු මත්ස්‍ය අපනයනය, වනාන්තර විනාශය, කෘෂි රසායනික භාවිතය හා ජලය දූෂණය හේතුවෙන් මේ මසුන් ලෝකයෙන් තුරන් වී යාමේ අවදානමක් ඇති බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා ලිපියක්,එහෙත් මේවා රැක ගැනීම කෙසේ සිදුවේද? (නි)
අනේ මමත් පොඩි කාලේ දැක්කා මේ වගේ මාලුවෙක්. කටේ පොඩි දල දෙකක් තියෙනවා පහළට. ඒ වගේම උගේ ඇගේ දික් අතට නිල් පැහැ දිලිසෙන ඉරක් තියෙනවා. ඒ වගේම තවත් රතු ඉරක් තියෙන මාලුවෙක් ගාල්ලේ පොද්දල අඩන දොළේ මීට අවුරුදු 30 කට කලින් හිටියා. මිරිදිය මාළුන් ගැන දන්නා කෙනෙක් කියන්න ඒකගේ නම සහ විස්තර (නි)
මෑතක් වෙනතුරු අපිත් ලංකාවට ආවේණික හල්මල් දන්ඩියා,බුලත් හපයා,වගේ මාළුන්ගේ චමත්කාරය බල බලා හිටියේ.දැන් නම් පරිසරය විනාශ කරලා මේ මාලුන්ව දැක ගන්න අසීරුයි.කොහොම වුණත් දැන් අපිට හල්මල් දණ්ඩියා හතරට කැඩුන එකට වඩා හාල්මැස්සෝ 250 පහකට කඩලා උයන්නේ කොහොමද කියලා වැඩි අවධානයක් යොමු කරන්න වෙලා තියෙන්නේ.මොකද අසීමිත බදු මිලෙන් අපිව පීඩනයට පත් කරලා,සුන්දරත්වය,චමත්කාරය,අපෙන් උදුරාගෙන තිබෙන නිසා. (නි)
මධුර ඇතුළු තරුණ ගවේෂක කණ්ඩායම රටට සිදු කරන නිහඬ සේවය ඉතාම අගය කරමි. මේ ලෝකය අයිති දෙපා සතාට විතරක් නොවේ. සියළු සත්වයන්ට එක ලෙස අයිති බව සිතන්න. (ස)
ජයාගෙ අදහස මමත් අනුමත කරනවා. අපේ රටේ සම්පත් ආරක්ෂා කර ගත යුතු වන්නේ අප විසින්මයි. මෙම පරීක්ෂණ කණ්ඩායමටත්, මෙය පල කළ ලංකාදීපයටත් ස්තූතියි අපිව දැනුවත් කරාට. (ස)
ඔබ සංගමය කරන්නේ මිල කළ නොහැකි සේවයක්. කරුණාකර විස්තර දන්වන්න. අපිත් අපිට පුලු පුලුවන් විදියට උපකාරයක් කරන්න බලන්නම්. (ස)
දැන් ඉතින් අපේ අයියලා ඔය මාළු ටිකත් අල්ලලා සුද්දකරලා දාවි. ආයේ කතා දෙකක් නැහැ. (ස)
අහන්නත් පුදුමයි (නි)
හොද ලිපියක්. ලංකාදීපයට සහ ඒ සම්බන්ධව පරීක්ෂණ කළ සියලුම නිලධාරීන්ට ස්තුතියි. (නි)
ලංකාවට ආවේනික දේවල් ගැන තොරතුරු හොයා ඉදිරියට ගෙනයාමට ක්‍රියාකරන මෙම සංගම් වැටෙන්න නොදී ඉදිරියට ගෙනයා යුතුයි. මේ සංගම්වලට වාර්ෂික ආදාර දිය යුතුයි.(නදී)
රොහාන් පෙතියාගොඩ කියන්නේ බන්දුල පෙතියාගොඩ මහතාගේ සහෝදරයෙක්ද? ලිපිය ඉතා වටිනවා. ඒ වගේම මෙම සංගමයට මගේ ස්තුතිය පුද කරනවා. (ස)
හොද ලිපියක්. මේවා සොයාගන්න එක හොදයි. එහෙත් මේවා අපේ මිනිස්සුන්ට එච්චර වැදගත් නැහැ. කීයක් හරි හොයාගන්න මේ මාළුවෝ පිටරටකට විකුණන්න පුළුවන් නම් ඒකත් කරාවි. (නි)
ගවේෂක කණ්ඩායමට ස්තුතිය පුද කරනවා. හොඳ ලිපියක්. මේ මත්ස්‍ය විශේෂය (විශේෂ කිහිපය) දැන් අවුරුදු ගණනක් තිස්සේ පිටරට පටවනවා මම අහලා තිබෙන විදියට. එහෙම රට පටවන තවත් මත්ස්‍ය විශේෂ තිබෙනවා, බුලත් හපයා, ලේ තිත්තයා වගේ. මේ දේවල් රැක ගැනීම අපි කාගෙත් වගකීමක්. (නි)
අපේ රට මොනතරම් සුන්දරද? මේ තරම් සුන්දර රටක්නේ නැති කරන්න හදන්නේ. (නි)
මේ ලිපිය පළ කරද්දී මේ සතුන් සිටින ස්ථාන පල නොකළා නම් තමයි හොඳ. මොකද හෙට ඉඳන් දැන් ඉතින් මේ සතුන්ටත් දෙවියන්ගේම පිහිටයි (නි)
නමුත් ඉන්නේ ඔක්කොම මෘගයෝනේ ප්‍රියන්ත,ලෝකයේ අන්ත දුප්පත් රටවල පවා,මේ වගේ සත්ව විශේෂයන්ට හොඳ තැනක් දෙනවා, මෙහෙ එහෙම නැහැනේ,හැම එකාම මරලා විකුණලා පිටරට පටවලා සල්ලි හොයන්නයි බලන්නේ (නි)
කෘෂි රසායන භාවිතය සීමා කරන්න ඕනෑ. මිනිසුන්ට වකුගඩු රෝග හැදෙන නිසාම පමණක් නෙමෙයි රටේ ජෛව විවිධත්වය රැකගන්නත් ඕනෑ හින්දා. (නි)
අපේ දණ්ඩියෝ මේ දණ්ඩියන්ට වැඩක් දෙයිද? (නි)