(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වූ මාස තුනක කාලයේදී මර්දනයක් එල්ල වුණු සිද්ධියක් නිශ්චිතව පවසන්නැ යි  විපක්ෂයට කියන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කීවාය.

හදිසි නීතිය දිගු කිරීමේ විවාදය  අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද කීවාය.

විපක්ෂය දිගින් දිගටම එල්ල කරන එකම චෝදනාව වන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මර්දනයක් සිදුවන බවයි.එයින් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල වන බව ඔවුන් කියනවා.මේ මාස තුනක කාලයේදී මර්දනයක් එල්ල වුණු සිද්ධියක් නිශ්චිතව පවසන්නැ යි අප විපක්ෂයට කියනවා.මේ මාස තුනේදී රටේ විවිධ විරෝධතා සිද්ධ වුණා.ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව සංවිධානය වෙමින් විවිධ මාතෘකා මත විරෝධතා දක්වන්න සම්පූර්ණ අයිතිය තිබෙනවා.විපක්ෂයත් සම්බන්ධ වෙමින් කරන එවැනි විරෝධතා අප කොතෙකුත් දුටුවා.ජනාධිපති කාර්යාලය ඉදිරිපිටත් විරෝධතා කරනවා. ඒ එකම අවස්ථාවකවත් මර්දනයක් සිදුවුණාදැයි අග්‍රාමාත්‍යවරිය ප්‍රශ්න කළාය.