(අජිත්ලාල් ශාන්තඋදය)

හරියට වැඩකරලා යුනිෆෝම් එක දාලා යන්න වුණොත් ඒ එස්පී තිලකරත්න මහතා ද මා සමග සිටින බව පැවසූ නිසා තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දුන් වැරදි උපදෙස් ක්‍රියාත්මක නොකළ බව කහවත්ත පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පුෂ්පකුමාර රාජමන්ත්‍රී මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ අද(4) සාක්කි දෙමින් පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්විමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරිම සහ තවත් දෙදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වු නඩු විභාගයේ දී ය.
මෙම නඩුවෙන් අධිචෝදනා ලබා ඇත්තේ සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, වත්මන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ඌරැපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනාය.