යළි කිසි දිනෙක, හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත නොවන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පැවැසීය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මෙසේ පැවැසුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කරන්නැයි බල කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පරුෂ වචනයෙන් බැණ වදිමින්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ ඔස්සේ ඉරානයට කර්ජනය කිරීමත් සමගය.

එකගතාවක් ඇති කර ගනිමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්නැයි ට්‍රම්ප් ඉරානයට බල කර ඇති අතර ඉරානය ඊට කන්​ දෙන්නේ නැත. හෝමූස් විවෘත කිරීමට ජනාධිපති ට්‍රම්ප් ඉරානයට දින 10 ක කාලයක් ලබා දී තිබුණු අතර, එම දින 10 අවසන්ය.

හෝමූස් හරහා යාත්‍රා කෙරෙන නෞකාවලින් ප්‍රවාහන ගාස්තු අය කිරීම සඳහා නව නීති කෙටුම්පත් කිරීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය  ලැබී ඇත.

අදාළ කෙටුම්පතට අනුව ඉරානයේ රියාල් මුදල් ඒකකයෙන් අදාළ ගාස්තු ගෙවිය යුතු බවත්, ඉරානයට සම්බාධක පනවා ඇති රටවල නාවික ගමනගාමනය සීමා කෙරෙන බවත්, ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට හෝමූස් හරහා ගමනාගමනය තහනම් කෙරෙන බවත් ඉරානය අවධාරණය කර ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධියේ අනෙක් සීමාවේ පිහිටි ඕමානය සමග සම්බන්ධීකරණය වී, එය පාලනය කිරීමට ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බවක් ඉරාන විප්ලවීය බලකාය ඊයේ (5) පැහැදිලි කළේය.

ගතවුණු පැය 24 තුළ ඉරාන රජයේ අවසරය සහිතව විදෙස් වෙළෙඳ නෞකා 15ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇතැයි ද පැවැසෙයි. පෙබරවාරි 28 වැනිදාට පෙර පැවති නාවික ගමනාගමනයට සාපේක්ෂව සියයට 90ක පහළයාමකි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ කළේ පෙබරවාරි 28 වැනිදාය.