(රෝෂන් තුෂාර)

ජනාධිපති වැය ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වෙන් කරන ලද   මුදල් අව භාවිතා කළේ යැයි කියන හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් , ජනාධිපති කාර්යාල හිටපු  විශේෂ ව්‍යාපෘතියක අධ්‍යක්ෂ  ජයසිංහ මුදියාන්සේලාගේ  සුගීෂ්වර බණ්ඩාර සැකකරු ලබන 25 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍යය මහතා අද  (12) නියෝග කළේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

සුගීෂ්වර බණ්ඩාර මහතා ඉහත තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්  පොදු දේපළ පනතේ 5 (1) යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු  වැරදි සිදු කර  ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

සැකකරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ලෙස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමයේදී විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරමින් වැටුම් දෙකක් ලබා ගත්තේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර ඇත.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීමට තරම් සුවිශේෂිකරුණු ඉදිරිපත් ව නොමැති බැවින්  සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය ලබන 25 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.