
(රෝෂන් තුෂාර)
නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ දුගී දුප්පත් අඩු ආදායම් ජනතාව සඳහා ඉදිකරන ලද සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක් , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හා හිටපු නීතිපතිවරයකුගේ ඉල්ලීම් අනුව දේශපාලන හිතවතුන්ට ලබා දී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද පැවැසීය.
රජයට පාඩුවක් කර තවත් පිරිසකට ලාබයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නාගරික සංවර්ධන පුනර්ජනනීය වැඩසටහන් අධ්‍යක්ෂ විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම කරුණු ඉදිරිපත් කළේය.
සැකකරු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ දුප්පත් ජනතාවට බෙදාදීමට තිබූ නිවාස 366න් නිවාස විසි දෙකක් (22) මෙලෙස හිතවතුන්ට බෙදා දී ඇති බවය.
හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රූපලාවණ්‍ය තෙරපීවරියට, කේශාලේපණ කළ රූපලාවණ්‍ය ශිල්පිනියට, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයකුට, ජනපති නිවෙසේ වැඩ කළ ගෘහ සේවිකාවන් දෙදෙනකුට, ජනපති නිවෙසේ වැඩ කළ ලිපිකරුවකුට, කම්කරුවකුට, නාවික හමුදාවේ ලුතිනන් නිලධාරියකුට, හිටපු පුවත්පත් කතුවරයකුට, දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ නිවෙසේ වැඩ කළ සේවකයකුට, ජනාධිපති කාර්යාල දිස්ත්‍රික් සම්බන්ධීකාරවරයකුට, සිංගප්පූරුවේ තානාපති කාර්යාලයක සිටි ගෘහ සේවිකාවකට, ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයකුට හා හිටපු නීතිපතිවරයකුගේ නිවසේ වැඩ කළ සේවිකාවක ඇතුළු පිරිසකට මෙම නිවාස ලබා දී ඇති බවට ලේඛනයක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.
රුපියල් කෝටි තිස් නමයකට අධික මුදලක් වැය කර ඉදිකළ නිවාස සංකීර්ණයේ නිවාස මෙලෙස 2014 වසරේ ලබා දී ඇති බවත් මෙමගින් රජයට පාඩුවක් සිදුවීම හා දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවැසීය.
මෙහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම පුද්ගලයන් මෙම නිවාසවල පදිංචි වී සිටින්නේදැයි විමසා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම නිවාස හතරක පුද්ගලයන් පදිංචිව නොමැති බව පැවසීය. ඇතැම් නිවාස කුලියට දී ඇති බවත්, සිංගප්පූරුවේ සිටින තැනැත්තිය මෙරටට නොපැමිණියත් එම නිවාසය ලබාගෙන ඇති බවත් පැවසීය.
දුප්පත් ජනතාවට නිවාස ලබාදීමේදී ඔවුන් එම වතුවල වසර පහක් පදිංචිව සිටීම, ජල බිල්පත් හා විදුලි බිල්පත් තිබේ දැයි පරීක්ෂා කර ඇති බවත් සැකකරු ඒ කිසිත් නොමැති 22 දෙදෙනකුට මෙම නිවාස ලබා දී ඇති බවත් පැවැසීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ මෙම නිවාස ශිරන්ති මහත්මියගේ හෝ ගෝඨාභය මහතාගේ හෝ එසේ නැතහොත් හිටපු නීතිපතිවරයාගේ ඉල්ලීම මත මැතිවරණ සමයකදී ලබා දුන්නේ නම් එය අවලංගු කිරීමේ හැකියාව නිවාස සංවර්ධන අධිකාරියට තිබූ බවය. එසේ නොකර මෙලෙස බල්ලාගේ වැඩේ බූරුවා කරනවා සේ අල්ලස් කොමිසම ඊට කටයුතු යෙදීම ප්‍රායෝගික නොවන බවද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd