(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් "සාමය සඳහා ඇවිදින්න'' (Walk For Peace) සාම පාගමන වැඩසටහන හෙට (21) ඇරැඹෙයි.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින්  දින 110ක් පුරා සාමය වෙනුවෙන් පා ගමනට නායකත්වය දුන් පඤ්ඤාකර හිමියන් හෙට අලුයම 5.30ට කටුනායක ගුවන්තොටින් දිවයිනට වැඩම කරන අතර  අත්තනගල්ල රජමහා විහාරස්ථානයේදී  පෙරවරු 9ට පා ගමනේ ඉදිරි කටයුතු පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය හමුවකට සහභාගී වේ.

අනතුරුව පස්වරු 3ට අනුරාධපුරයේ දී ශ්‍රී මහා බෝධි අංකුරය පා ගමනේ යෙදෙන භික්‍ෂූන් වහන්සේ වෙත පූජා කිරීම සිදු කෙරෙයි.පස්වරු 4 ට රුවන්වැලි සෑය පුදබිමේ ආගමික වැඩසටහනින් අනතුරුව මහා සංඝරත්නය දඹුල්ලට වැඩමවීම සිදු කෙරෙයි.

සාම පා ගමන දඹුල්ල විහාරයෙන් අනිද්දා  (22) පෙරවරු 6.30ට ආරම්භ වී මාතලේ අළු විහාරයෙන් අවසන් කෙරෙයි. මාතලේ අළු විහාරයෙන් 23 වැනිදා පෙරවරු 7 ට ඇරැඹෙන පා ගමන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සැපත් වේ. පා ගමනින් එන භික්‍ෂූන් වහන්සේ එදින පස්වරු 4ට මල්වතු,අස්ගිරි  මහා නා හිමිවරුන් බැහැ දැකීම සහ ශ්‍රී දළදා වන්දනාව සිදු කරති.

ශ්‍රී දළදා මාලිගාවෙන් 24 වැනිදා පෙරවරු 6.45ට ඇරැඹෙන පා ගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය දක්වා සැපැමිණෙයි.

මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් 25 වැනිදා පෙරවරු 6.30ට ඇරැඹෙන පා ගමන අවසන් කෙරෙන්නේ තෝලංගමුව  ජාතික පාසලෙනි.

පා ගමන 26 වැනිදා පෙරවරු 6ට තෝලංගමුව ජාතික පාසල් පරිශ්‍රයෙන් ඇරැඹී යක්කල අබේසේකරාරාමය දක්වා පැමිණේ. යක්කල අබේසේකරාරාමයෙන් 27 වැනිදා පෙරවරු 6ට ඇරඹෙන පා ගමන එදින  කැලණිය රජමහා විහාරය තෙක් පැමිණෙනු ඇත.

පා ගමනට සහභාගී වූ භික්ෂූන් වහන්සේ කැලණිය රජමහා විහාරයේදී 28 වැනිදා පෙරවරු 11ට පාසල් ළමයින් හා විශ්ව විද්‍යාල සිසුන් සමග සාකච්ඡාවකට සහභාගී වන අතර එදින පෙරවරු 11.30ට කැලණිය රජමහා විහාරයෙන් පා ගමන ආරම්භ කර කොළඹ නිදහස් චතුරස්‍රය තෙක් ගමන් කර පා ගමනේ නිමාව සනිටුහන් කරයි.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් එදින පස්වරු 4ට පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී මහා බෝධි අංකුරය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්  පූජා කිරීමේ රාජ්‍ය උත්සවය පැවැත්වේ.

අනතුරුව  පස්වරු 5.30ට භික්ෂූන් වහන්සේ පෙරහරින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය තෙක් වැඩම කෙරෙන අතර එම පෙරහර එදින පස්වරු 7ට ගංගාරාම විහාරස්ථානයට ළඟා වනු ඇත. පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ, ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේගේ සහ අනෙකුත් හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන "We are the Design" වැඩසටහන ආරම්භ කිරීම ගංගාරාම විහාරස්ථානයේදී එදින පස්වරු 7.30ට පැවැත්වෙයි.

 

සාම පා ගමන සඳහා වැඩම කරන භික්ෂූන් වහන්සේ මැයි 1 වැනිදා නැවත ඇමෙරිකාව බලා වැඩම කිරීමට නියමිතය.

 මෙම පා ගමන ශ්‍රී ලංකාවේ දී "ඒහිපස්සිකෝ" ලෙස නම් කර තිබේ.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින්  දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු  භික්ෂූන්වහන්සේගේ සහභාගීත්වයෙන් මෙම සාම පා ගමන පැවැත්වේ.

 අනුරාධපුර ශ්‍රී මහා බෝධි අංකුරයක් ද මෙම පාගමනේ වැඩමවීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම සාම පාගමන සඳහා සහාය දක්වයි. 

පාගමන අතරතුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් සහ සාම්ප්‍රදායික ශිල්ප හා කලා විශේෂාංග ද ජනගත කිරීමට ද අපේක්ෂිතය.