ශ්‍රී ලංකාවේ බහු වාර්ගික වැසියන් සඳහා සංහිඳියාව උදාකිරීමේ හොඳම අවස්ථාව දැන් උදාවී ඇතැයිද අභියෝග බාර දිය හැකි පුද්ගලයන් හට ඒ කාර්යය බාරදිය යුතු බව මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ලක්ෂ්මන් කදිර්ගාමර් සමරු දේශනය පවත්වමින් ක්‍රමෝපාය අධ්‍යයනයන් පිළිබඳ කදිර්ගාමර් අන්තර්ජාතික මධ්‍යස්ථානයේදී පැවසීය.
මංගල සමරවීර විදේශ ඇමැතිගේ ඇරයුමින් බ්ලෙයාර් සිය බිරියද සමග මෙම දේශනය පැවැත්වීමට පැමිණියේය.
ටෝනි බ්ලෙයාර් සහ කදිර්ගාමර් බ්‍රිතාන්‍යයේ කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් සරසවියෝ විද්‍යාර්ථයෝය. කදිර්ගාමර් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවූ දෙවැනි ශ්‍රී ලාංකිකයාය. ලලිත් ඇතුලත්මුදලි පළමු ශ්‍රී ලාංකිකයායි.
ටෝනි බ්ලෙයාර්ගේ සම්පූර්ණ කථාව
ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා අනුස්මරණය කරමින් අද දින මෙම දේශනය පැවැත්වීමට ලැබීම මා ඉමහත් භාග්‍යයක් කොට සලකමි. මාගේ දේශනය ඇරඹීමට පෙර මා කිවයුතු යමක් තිබෙනවා. එය නම් මාගේ සති දෙකක ශ්‍රී ලංකා සංචාරය අවසානයේ මා තේරුම් ගත් කාරණයක් වන්නේ මා ශ්‍රී ලංකාවට බෙහෙවින්ම ආදරය කරන බවයි. ශ්‍රී ලංකාව ඇත්ත වශයෙන්ම ආශ්චර්යමත් රටක්. දේශන වලින් තොරව ගතවුනු පසුගිය සති දෙකක කාලය ඇත්ත වශයෙන්ම ඉතාම විනෝදජනකයි. නමුත් මෙම දේශනය සඳහා ආරාධනා ලැබුණු විට මා එය භාරගත්තේ මෙම රටට කරන ගෞරවයක් වශයෙන් සිතා පමණක් නොව ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ විශිෂ්ඨ ජීවිතය අගය කිරීමක් ද වශයෙනි. ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා විශිෂ්ඨ නීතීඥයෙක්. ඔහු තීර්තිමත් දේශපාලනඥයෙක්. එමෙන්ම ඔහුට ලොව පුරා ඉතා හොඳ පිළිගැනීමක් තිබුණා. දස වසරකට ඉහත දී අවාසනාවන්ත ලෙස ඔහු අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ ඒ පිළිබඳ දුක් වූයේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. ලොව පුරා සිටින ඔහුව අගය කරන දහසකුත් දෙනා ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ඉමහත් කම්පාවට පත්වුණා. මේ රට වෙනුවෙන් ඔහු කරන ලද සේවයට විශේෂයෙන්ම සාමය වෙනුවෙන් ඔහුගේ කැපවීම සම්බන්ධයෙන් සියලු දෙනාගේ ගෞරවය ඔහුට හිමිවුණා. විවිධ වූ විශ්වාසයන්හි එල්බ ගත් මිනිසුන් උදෙසා සාමානාත්මතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ඔහු සැමවිටකම පෙන්වා දුන්නා.
ඔහුගේ බලාපොරොත්තුව වූයේ සියළු පුරවැසියන් හට එක් නීතියක් යටතේ සමානව සලකන ශ්‍රී ලංකාවක් දැකීමයි. මෙහිදී මා ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිණියට ස්තූතිවන්ත වෙනවා අද දින මෙම දේශනය කරන ලෙස මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒ අනුව ශ්‍රී ලංකාව වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් සිටින මෙවන් අවස්ථාවක, ශ්‍රී ලංකාවේ සම්භාවනීය පුරවැසියන් රැසක් සමඟ ඔබ සියළුදෙනා ඉදිරියේ අද දින මෙම දේශනය කිරීමට ආරාධනා ලැබීම මට මහත් වූ ගෞරවයක්.
මම මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ මැද පෙරදිග සාම ක්‍රියාවලිය සඳහා දායක වීම වෙනුවෙන් එහි කල සංචාරයකින් අනතුරුවයි. මෙය සේවයෙන් ඉවත් වීමෙන් අනතුරුව මවිසින් කල 150 වන ජෙරුසලම් සංචාරයයි. මෙහිලා වැදගත් වන්නේ මවිසින් සංචාරය කල වාර ගණන නොව එම සංචාර හරහා ළඟාකරගත හැකිවූ ප්‍රගතියේ ප්‍රමාණයයි. සියළු සාම ක්‍රියාවලීන් සාර්ථකව අවසන් වන්නේ නෑ. ඇතැම් සාම ක්‍රියාවලීන් සඳහා දීර්ඝ කාලයක් ගත වෙනවා. කෙසේ වුවත් උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් අපිට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවුණා. නමුත් එම සාර්ථකත්වය ළගාකරගත හැකිවූයේ සියවස් ගණනාවක් තිස්සේ පැවති ගැටුම්කාරී වාතාවරණයකට පසුවයි. මෙය අපට ඉතා වැදගත් පාඩමක් කියා දෙනවා. එයනම් පවතින තත්වය කෙතරම් නරක වුවත් සාමය වෙනුවෙන් කැපවීම අපතේ යාමක නොවෙයි. එයට හේතුව කවදා හෝ සාමය උදා වීමේ හැකියාවක් තිබෙන බැවිනි. ශ්‍රී ලංකාව තුලත් බෙහෝ දෙනාගේ ජීවිත අහිමි කල දිගුකාලීන කුරිරු යුද්ධයක් පැවතුණා. නමුත් අද එම යුද්ධය අවසන් වී ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙනවා.
මෙහිදී මවිසින් සිහිපත් කල යුතු වැදගත් කාරණයක් වන්නේ සෑම ගැටුමකටම එයට ආවේණික වූ ලක්ෂණ පවතින බවයි. එමනිසා උතුරු අයර්ලන්ත ගැටුම හා මෙරටේ තත්වය සන්සන්දනය කිරීමේ දී ඔබ සැලකිලිමත් විය යුතුයි. කිමදයත් එම ගැටුම් සඳහා බලපෑ තත්වයන් එකිනෙකට වෙනස්වන බැවින්. සේවයෙන් ඉවත් වීමෙන් පසු මැද පෙරදිග ඇතුළු ලෝකයේ විවිධ රටවල සාම සාධන අත්දැකීම් රාශියක් ලැබූ මට වැටහෙන කාරණයක් නම් ගැටුම් සඳහා හේතු පාදක වන ඒවාට ආවේණික වූ විවිධාකාරයේ තත්වයන් හා ලක්ෂණ තිබෙනවා. එනමුත් ගැටුම් සඳහා හේතූ වූ කරුණු කාරණා කෙසේ වුවද ප්‍රතිසංවිධානය හා සාම සාධනය සම්බන්ධයෙන් පොදු ලක්ෂණ කිහිපයක් පවතිනවා. සාමය උදාවීමත් සමඟ එම රටට දැවැන්ත අවස්ථාවක් උදා වෙනවා. ආගන්තුකයන් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අපට මෙය හොඳින් දැනෙනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට සමබන්ධයෙන් පිටසතරයින්ගේ අදහස් දැනගැනීමට ලැබීම ද ඉතා වැදගත්. සංහිඳියාව උදෙසා ඔබ යන මේ ගමනේ දී ඔබේ දියුණුව පතන මිතුරන් රැසක් ඔබට සිටිනවා. එමෙන්ම රට සම්බන්ධයෙන් නව මානයන් හා ඉලක්ක ද ඇති වෙනවා. ගතවූ සති දෙකක කාලය තුල අපට වැටහුණු එක් කාරණයක් තමයි ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්. එයටම ආවේණික වූ සුවිශේෂී අලංකාරයක් එයට තිබෙනවා. ඉතා සාඩම්භර ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුයි. අනුරාධපුරයේ සංචාරය කල අපි මේ රටේ ප්‍රෞඨ ශිෂ්ඨාචාරය අප දුවුටා. මම මැද පෙරදිග දී ඔවුන්ට සීගිරිය ගැන විස්තර කලා. සීගිරිය වටා ගොඩ නැගී තිබුණු ශ්‍රී ලංකාවේ අතීත ශිෂ්ඨාචාරය විශ්මයජනකයි. ඇත්තටම ඔබේ ඉතිහාසය මෙරටට පැමිණෙන සංචාරකයන් මවිතයට පත්කරනවා. එපමණක් නොවේ. මෙරට ස්වභාවික සම්පත් වලින් ද අනූනයි. මෙරට තේ වගාව ඒ අතරින් ප්‍රධානයි. බ්‍රිතාන්‍යයන් වූ අපට අගනාම දේ තමයි තේ. බ්‍රිතාන්‍යයන් තේ ගැන ඉතා සැලකිලිමත් වෙනවා. අනර්ඝ තේ කෝප්පයක රස බැලීමට ඔවුන් ලොව වටා සංචාරය කිරීමේ දී උනන්දු වුවත් ඒ උත්සාහය බොහෝ විට අසාර්ථක වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ දී අපට පිලිගැන්වෙන තේ කෝප්පය සැබවින්ම අනර්ඝයි. තවද සංචාරක කර්මාන්තය සඳහා ද මෙරටේ ඉතා හොඳ අවස්ථා තිබෙනවා. වෙළඳ ගිවිසුම් හරහා මෙරටට පැමිණෙන ව්‍යාපාරිකයන් හට අනර්ඝ අවස්ථා හිමිවෙනවා. මේ සියල්ලටම වඩා ඔබ සතු වඩාත්ම වටිනා සම්පත වන්නේ මෙරටේ ජීවත් වන කාරුණික, පරිත්‍යාගශීලි ජනතාවයි. එබැවින් මා කියන්න කැමතියි ආඩම්භර විය හැකි සහ බලාපොරොත්තු තබා ගත හැකි දෑ රැසක් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබට උපතින්ම හිමිවී තිබෙනවා. නමුත් මේ සියල්ල අතරේ තිස් වසරක් පූරාවට මේ රට වෙලාගන තිබූ යුද්ධය ඉතා කුරිරුයි, අමානුෂිකයි එමෙන්ම සමාව දිය නොහැකියි. එබැවින් සාමය උදා වී ඇති මේ මොහොතේ මෙය ඔබට ලැබුණු උත්තරීතර අවස්ථාවක් වශයෙන් සැලකිය යුතුයි. එමෙන්ම මංගල සමරවීර මහතා සිය කථාවේ දී ද පැහැදිලි කල ආකාරයට අප මතක තබා ගත යුතු අනෙක් කාරණය වන්නේ සාමය යනු යම් අළුත් දෙයක් නිර්මාණය කිරීමට ලැබෙන හොඳ ආරම්භයක් බවයි. 1998 මහ සිකුරාදා ගිවිසුමට අත්සන් තැබූ පසු ඉයන් පාස්ලි හා මාර්ටින් මැක්ගිනස් හට පාර්ලිමේනතුවේ එකට වාඩි වීමට අවුරුදු 9ක් ගත වුණා. ඒ අතර කාලය විවිධ බාධක කම්කටෝළු හැල හැප්පීම් රැසක් මුහුණ දීමට ද සිදුවුණු අතර සාමය බිඳවැටේ යැයි සිතුණු අවස්ථා ද රැසක් තිබුණා. දැන් ඔබටත් අවස්ථාවක් ලැබී තිබෙනවා. නමුත් එම අවස්ථාව ගිලිහී යා නොදී තදින් ග්‍රහණය කර ගත යුතුයි. සංහිඳියාව නිකම්ම ලැබෙන්නේ නෑ ඒ සඳහා කල යුතු දෑ බොහෝමයි.
උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් රටවල් සම්බන්ධයෙන් ද මාගේ අත්දැකීම් අනුව සාර්ථක සංහිඳියාවක් සඳහා වන මූලධර්ම හතක් හඳුන්වා දිය හැකියි.
එයින් පළමු වැන්න වන්නේ ගැටුම් වලින් තොර තත්වයක් දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමයි.
මෙය විශේෂයෙන් සඳහන් කල යුතු නොවුවත් එය ඉතා වැදගත්. සුරක්ෂිතභාවය වනාහි ඉතා වැදගත් කාරණයක්. ලක්ෂ්මන් කදිර්ගාමර් මෙම කාරණය ඉතා හොඳින් වටහාගෙන තිබුණා. සංහිඳියාව සඳහා කටයුතු කරන විට අප විසින් මතක තබා ගත යුතු කාරණයක් වන්නේ මිනිසුන්ගේ දුක්ගැනවිලි හා මතභේදයන් කුමක් වුවත් ඒ වෙනුවෙන් ත්‍රස්තවාදය යොදාගැනීම කිසිවිටකත් සාධාරණිකරණය කල නොහැකියි. ස්ථීරසාර සාමයක් ලඟාකරගැනීමට නම් ප්‍රචණ්ඩත්වයේ චක්‍රය නවතා දැමිය යුතුයි. ත්‍රස්තවාදය තුලින් තමයි මිනිසුන් අතර බෙදීම හා ප්‍රතික්‍රියා නිර්මාණය වන්නේ. ලෝකයේ ත්‍රස්තවාදය පවතින රටවල බලධාරීන් විසින් එයට ප්‍රතික්‍රියා කරන අතර එය චක්‍රයක් ආකාරයෙන් දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ නිසා තමයි ප්‍රචණ්ඩත්වය පවතින විට සංහිඳියාවක් නිර්මාණය කල නොහැකි වන්නේ. උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් ද අප විසින් පළමුවෙන්ම කලේ ප්‍රචණ්ඩත්වය නැවැත්වීමයි. මෙය පහසු නොවන නමුත් අත්‍යවශ්‍ය පියවරක්. මේ මොහොත වනවිට ලෝකයේ බොහෝ තැන් වල ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා. එක් කාරණයක් පැහැදිලියි. බහුතරය ත්‍රස්තවාදය අනුමත කරන්නේ නෑ.මැද පෙරදිග හා උතුරු නයිජීරියාවේ යුද්ධය පවතින ප්‍රදේශ වල පවා තත්වය මෙසේයි. ත්‍රස්තවාදයෙන් කරන්නේ මිනිසුන් කැමති වුවත් අකමැති වුවත් සමාජය තුල බෙදීම් ඇති කර මිනිසුන් ඊට පටලවා ගැනීමයි. සංහිඳියාව සාර්ථක වීමට නම් ඔබ විසින් අනිවාර්යයයෙන් මතක තබා ගත යුතු කාරණය වන්නේ එහි මූලික හරය ගැටුම් නොමැති තත්වයක් දීර්ගකාලීනව පවත්වා ගෙන යාම බවයි.
දෙවනුව සංහිඳියා ක්‍රියාවලිය සාධාරණ විය යුතුයි.
ගැටුමක් තුල ආරවුල්, බෙදීම් හා අසම්මුතීන් පවතිනවා. ස්ථිරසාර විසඳුමක් ලබාගැනීමට නම් සියළුදෙනාට එකඟ වීය හැකි කාරණා ඇතුලත් පොදු සංකල්පීය රාමුවක් සැකසිය යුතුයි. උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් භාවිතා වූ රාමුව සරල එකක් විය. එහි එක් අන්තයක එක්සත් අයර්ලන්තයක් පිළිබඳ විශ්වාස කරන ජනරජ ව්‍යාපාරයත්, අනෙක් අන්තයෙන් උතුරු අයර්ලන්තය එක්සත් රාජධනියේ කොටසක්ව පැවතිය යුතු බවට විශ්වාස කරන කොටස ද වශයෙන් කොටස් දෙකක් පැවතියා. ඒ අනුව එහිදී භාවිතා කල සංකල්පීය රාමුව පරිදි බහුතරය අයර්ලන්තය එක්සත් රාජධානියේ කොටසක් ව පැවතිය යුතු බව පිලිගත් අතර කැමැත්ත පිළිබඳ මූලධර්මය පරිදි එය පිලිගන්නා ලදි. ඒ සමඟම නීතිය යටතේ සියළු පුරවැසියන් හට සමානව සැලකිය යුතු බවටත් තීරණය වුණා. එයට හේතුව වූයේ දිගු කලක සිට උතුරු අයර්ලන්තයේ ජීවත් වූ කතෝලික, ජාතිකවාදි හා රිපබ්ලිකන් ප්‍රජාව අතර තමන්ට එලෙසින් සලකන්නේ නැති බවට මතයක් තිබුණා. ඒ අනුව සංකල්පීය රාමුව මගින් තෝරාගත් කැමැත්ත පිළිබඳ මූලධර්මය සමානාත්මතාවය තුලින් සමතුලිත වියයුතු බවට තීරණය විය. නමුත් මැද පෙරදිග දී තත්වය මීට වඩා වෙනස් විය.එහිදී සාමය සඳහා භුමිය භාවිතා විය. ජන වර්ග දෙකක් සඳහා රටවල් දෙකක් වෙන්කිරීමට සිදුවිය. මෙම අරමුණට ලඟාවීම දුෂ්කර වුවත් එහි සංකල්පීය රාමුව ඉතා සරලයි. මැද පෙරදිග සම්බන්ධයෙන් පවත්නා ගැටලුව වන්නේ සංකල්පීය රාමුව සඳහා එකඟතාවය ඵල වුණත් භුමිය පිළිබඳ සමථයකට එළැඹීමට නොහැකි වීමයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ද තමන්ගේම වූ රාමුවක් නිර්මාණය කරගත යුතුව ඇත. මෙහිදී අප තේරුම් ගත යුතුයි බලය බෙදා හැරීම, අයිතිවාසිකම් සහතික කිරීම, සංවර්ධනය හා අභිමානය තහවුරු කිරීම, සාධාරණ සැලකීම ආදිය සම්බන්ධයෙන් ගැටළු පවතින බව. අතීතයේ ගැටුම අවසන් කල හැකි මුත් අනාගත සංහිඳියාව, සාධාරණ සංකල්පීය රාමුවක් නොමැතිව ලබාගත නොහැකිය යන්න පිළිබඳ අවබෝධය ද අත්‍යවශ්‍යය. ප්‍රචණ්ඩත්වය නොමැති වුවද පොදු සංකල්පීය රාමුවක් නොමැති තැන දේශපාලන ක්‍රියාවලිය හරහා ද මහභේදයන් ඇති වීමේ ඉඩකඩක් පවතී.
තෙවැන්න නම් සමගිය සහ විවිධත්වයයි.
විශ්වාසයන්, ජාතීන් ආදී විවිධ වෙනස්කම් වලින් යුත් සමාජයක ගැටුම් හටගත් විට සංහිඳියාව කරා යාමට නම් අනිවාර්යයෙන්ම සමගිය සහ විවිධත්වය යන කාරණා දෙක පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය වේ. ගෝලීයකරණය හරහා ලෝක ප්‍රජාව එකම ගම්මානයක් යන සංකල්පයට ගොනු වෙමින් සිටිති. සංක්‍රමණය, සංචාරය හා සන්නිවේදනය හරහා අතීතයට වඩා වැඩි වේගයෙන් ලොව වටා විසිරී සිටින විවිධ වූ ජාතීන් අතර සමීප සබඳතා ගොඩනැගෙමින් පවතී. ඉදිරියේ දී මෙම ප්‍රවණතාවය තවදුරටත් වර්ධනය වනු ඇත. උදාහරණයක් වශයෙන් අපි ලන්ඩන් නුවර ගනිමු. මම පළමුවෙන් ලන්ඩනයට පැමිණෙන විට එහි ජීවත් වූයේ සුළු ප්‍රජාවක් වු අතර ඔවුන් අතර පැවති සබඳතාවය හා එකතු වීම ද පටු විය. නමුත් අද ඔබ ලන්ඩනයට පැමිණියහොත් ඔබට වැටහේවි අද එය විවිධ සංස්කෘතීන්ගේ පූර්ණ එකතුවක් බව. ලන්ඩන් නුවර අද සාර්ථක දීප්තිමත් නුවරක් බවට පත්ව ඇත්තේ විවිධත්වය යන සාධකය මත පදනම්වය. වෙනස්කම් හා විවිධත්වය යනු සැමරිය යුතු කාරණා වන අතරම විවිධ කණ්ඩායම් සඳහා පොදු වූ සම්මතයන් හා වටිනාකම් තුලින් පාලනය වන්නා වූ පොදු අවකාශයක් තිබීමද වැදගත් වේ. අද වනවිට හා බ්‍රිතාන්‍යය ඇතුළු සමස්ත යුරෝපාකරයම මුහුණ පා තිබෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ මුස්ලිම් ප්‍රජාව විසින් ඔවුන්ට සමානාත්මතාවයෙන් යුතුව සැලකීමක් සිදු නොවන බවට පවතින මතය හේතුවෙන් මෙම පොදු අවකාශය අහිමි වීමයි. එබැවින් සංහිඳියාව ක්‍රියාත්මක කිරීමට නම් ඔබ අත්‍යවශ්‍යෙයන්ම වටහා ගත යුතු කාරණය වන්නේ ඔබ වෙනස් හා විවිධත්වයෙන් යුත් මිනිසුන් පොදු සම්මතයකට ගෙන ආ යුතු බවත් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, කාන්තාවන් සඳහා සමාන අයතිවාසිකම් ආදී සියළු දෙනා හට එකඟ විය හැකි පොදු ගුණාංග දියුණු කල යුතු බවත්ය. ඔබ එක්සත් රාජධානියේ කොටසක් බවට පත්වීමට නම් පොදු වශයෙන් සැලකෙන වටිනාකම් මේවායි. මිනිසුන්ගේ විවිධත්වයට ගරු කරන අතරම එය සිදු වන්නේ එක්සත් රාජධානියේ වටපිටාව තුල වීම මෙහි පොදු සම්මුතියයි. ඒ අනුව, එම වටපිටාවේ කෙනෙකු වීමට නම් මෙම වටිනාකම් පිළිපැදිය යුතු අතර එමගින් ජාතිය එකමුතුව තබනු ඇත. මෙම පොදු සම්මතය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා හට ඉතා හොඳ අවබෝධයක් තිබුණු අතර ඔහුගේ දේශන වලින් ද එය පැහැදිලි වෙනවා. ඔහු සැමවිටම පැවසුවේ දමිළ ජාතිකයන් හට ආගමික නිදහස අවශ්‍ය නමුත් එය සිදුවිය යුත්තේ පොදු අගයන් පිලිපදින රටක් තුල බවයි. එම අවබෝධය ඉතා වැදගත්. එයට හේතුව අද වනවිට ආගමක නිදහස ආගමික අන්තවාදය උදෙසා ක්‍රියාත්මක වන බැවින්. රැඩිකල් ඉස්ලාම් ධර්මය පමණක් නොවේ, ඕනෑම ආගමක් දෙස අවධානයෙන් බලන්න. එවිට ඔබට එහි අන්තවාදී වූකොටසක් ද සිටින බව වැටහේවි. ඔවුන් ආගමික ඉගැන්වීම් විකෘති කර ඒවා ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා භාවිතා කරති. ඒ අනුව එකමුතු බව හා විවිධත්වය අතර මනා තුලනයක් පවත්වාගෙන යාම සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වේ.
හතරවන මූලධර්මය වන්නේ ආර්ථික සංවර්ධනයේ සංහිඳියාවයි.
ගැටුම් මගින් අවතැන්වීම, දරිද්‍රතාවය හා බලාපොරොත්තු සුන්වීම් ඇතිකරන අතර බිඳවැටුණු ආර්ථිකයක් තුල සංහිඳියාව ගොඩනැගීම අපහසුය. ආර්ථික සංවර්ධනය ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් ද මෙය දැකිය හැක. ආර්ථික සංවර්ධනය සමගින් ඇතිවන සුරක්ෂිත භාවයේ ඉහල යාම හේතුවෙන් ආයෝජනය ඉහල යයි. ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රචණ්ඩත්වය සඳහා හේතුපාදක වූ බලාපොරොත්තු සුන් වීමේ තත්වය අවසන්ව අනාගතය පිළිබඳ නව බලාපොරොත්තුවක් දේශීය ප්‍රජාව හට ඇතිවේ. ආර්ථික සංවර්ධනය ඉහල රටක සාමය සඳහා ඉතා හොඳ ඉඩකඩක් ඇත. සංහිඳියාවේ එක් කොටසක් වන්නේ රටේ තරුණ ප්‍රජාව හට නව ආර්ථික අවස්ථා හිමිවීමයි. මැද පෙරදිග තත්වය ගත්කල පලස්තීනුවන් හා ඊශ්‍රායල ජාතිකයන් අතර ආදායම් විෂමතාවය 10-15 ගුණයකින් පමණ වැඩි වී ඇත. එබැවින් එය සංහිඳියාව හා සාමය ඇති කිරීම සඳහා සුදුසු තත්වයක් නොවේ. ආර්ථිකය වර්ධනය නොවන විට අනාගතය පිළිබඳ තරුණයන්ගේ බලාපොරෙතාත්තු සුන් වන විට සංහිඳියාවක් ඇති කිරීම ඉතා අපහසු වේ.
පස්වැන්න නම් අධ්‍යාපනයයි.
මාගේ විශ්වාසය නම් අධ්‍යාපනය ඕනෑම ගැටළුවක් සඳහා ඉතා හොඳ විසඳුමක් වන බවයි. තරුණයන් වඩාත් උගත් වනවිට, ලෝකය පිළිබඳ ඔවුන්ගේ දැනුවත් භාවය වැඩිවන තරමට සංහිඳියාව ඇතිකිරීම ද වඩාත් පහසු වනු ඇත. අද වනවිට අධ්‍යාපනය යන්නෙහි අරුත වන්නේ ළමයින් පංතිකාමරයක් තුල ගුරුවරයා ඉදිරියේ හිඳගෙන සිටීම නොව, ඔවුන් වැඩෙන ලෝකය පිළිබඳ ඔවුන්ගේ දැනුවත් භාවය වැඩිකිරීමයි. මම වැඩකරන බොහෝ රටවල ජනාධිපතිවරුන්ට හා අගමැතිවරුන්ට මා කියන්නේ තම රටවැසියන් අතර සබඳතාවය ගොඩනැගීම ඉතා වැදගත් බවයි. එමගින් ඔවුන්ට ලොව වටා සිදුවන්නේ කුමක්ද යන්න දැනගත හැකිවන අතර එමගින් ඔවුන්ට තමන් මෙන්ම ලෝකය පුරා විසිර සිටින තරුණ ප්‍රජාව අවස්ථාවන් ලබාගැනිම සඳහා වෙහෙස වී කටයුතු කරන බව දැනගත හැකිවේ. අධ්‍යාපනයේ වටිනාකම තීරණය වන්නේ පංති කාමරය තුල සිටින ළමුන් සංඛ්‍යාව මගින් නොව එම ළමුන් අවස්ථාවන් ලබාගැනීම සඳහා යොමු කරවීමත් ඔවුන්ට විවෘත මනසක් ඇතිකිරීමත් තුලින්ය. සැකෙවින් කියතොත් මිනිසුන්ගේ විවිධත්වය දෙස විවෘත මනසකින් බැලිමට හැකිනම් ඒ අයට ආර්ථික වශයෙන් ද දියුණු විය හැක. ඒ අනුව ගෝලීයකරණය තුලින් මිනිසුන් එකිනෙකා හා සම්බන්ධ වනවිට මෙම නව අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය අධ්‍යාපනය නොමැති පුද්ගලයන් හේතුවෙන් සංහිඳියාව ඇතිකිරීම අපහසු වේ. එවන් පුද්ගලයන් තමන් ජීවත් වන විවිධත්වයෙන් යුත් ලෝකයේ එකිනෙකාට ගරුත්වය දැක්වීමට, ඉවසීම පුරුදු කිරීමට හා එකිනෙකා තේරුම් ගැනීමට නොදනිති. එබැවින් උතුරු අයර්ලන්තය තුල අධ්‍යාපනය සඳහා අපි වැඩිවශයෙන් උනන්දු වුනෙමු. එබැවින් ළමුන්ගේ මනස විවෘත කිරීම සඳහා යොමු වූ අධ්‍යාපනයක් උදෙසා මුල සිටම ඉගැන්වීම යලි ආරම්භ කල යුතුය.
හයවන මූලධර්මය නම් සංවාදයයි.
සංවාදයක් වූ කලී ගැඹුරු විය යුතුය, පරිපූර්ණ විය යුතුය, එමෙන්ම නියත විය යුතුය. සාමය ඇතිවිටත් ප්‍රතිසංවිධානය ඇති විටත් සැමවිටම මතක තබා ගත යුත්තේ නිරන්තර සංවාදය, අන්තර් පුද්ගල සබඳතාවය, අන්‍යෝන්‍ය අවබෝධය හා තමන්ගේ වෙනස්කම් තේරුම්ගෙන කටයුතු කිරීමේ වැදගත්කමයි. ලොව වටා සිදුවන ගැටුම් නිරීක්ෂණය කිරීමේ දී මා නිරන්තරයෙන් නිරීක්ෂණය කරන දෙයක් නම් මිනිසුන් එකිනෙකාගේ වේදනාව තේරුම් නොගන්නා බවයි. ඔවුන් දකින්නේ තමන්ගේ වේදනාව පමණයි. උතුරු අයර්ලන්තයේ දී අපි මෙය ක්‍රියාවට නැංවූ අතර එමගින් තමන්ගේ වේදනාව අනෙකා තුලින් දැකිමට මිනිසුන් හුරු කරවීමට අපට හැකි විය. එමෙන්ම ප්‍රතිසංවිධානය යනු නීති, ව්‍යවස්ථා හා ක්‍රියාපටිපාටීන් පමණක් නොවන බව මිනිසුන්ට ඒත්තු ගැන්වීම ද ඉතා වැදගත්. එය හදවතට දැනිය යුතුයි. එය හදවතට ආමන්ත්‍රණය නොකරයි නම් එය සබෑවටම ක්‍රියාත්මක වන්නේ ද නැති බව මා අත්දැකීමෙන් දනිමි. එබැවින් සංවාදය සංහිඳියාවේ ලා ඉතා වැදගත් වේ. මැද පෙරදිග සාම ක්‍රියාවලියේ ඇති එක් ප්‍රගතිශීලී ලක්ෂණයක් නම් සංවාදය යන ගුණාංගය ඉතා හොඳින් ක්‍රියාත්මක වීම තුලින් මිනිසුන් එකිනෙකාගේ සිතුම් පැතුම් හදුනාගනිමින් අනෙක් පාර්ශවයේ සිටින මිනිසුන් ද තමන් මෙන්ම වන බව හඳුනා ගැනීමත්ය.
අවසාන වශයෙන් මා වඩාත්ම දුෂ්කර සහ සංවේදී අවසන් මූලධර්මය පිළිබඳ විස්තර කරමි. අතීතය මකා දැමීමට නොහැක. නමුත් අනාගත අවස්ථා කඩාකප්පල් නොවන ආකාරයට අතීතය යම්දුරකට අමතක කිරීමට හැකියාව ඇත. අතීතය පරීක්ෂා කෙරේ නම් එය සිදුවිය යුත්තේ සත්‍යය සෙවීමට මිස පලිගැනීම සඳහා නොවේ. ගැටුම් මගින් විපතට පත්වූවන් නිර්මාණය කෙරේ. එම වේදනාව කෙදිනකවත් ඔවුන් හැර නොයයි. මෙහි රැස්ව සිටින පිරිසටද එම වේදනාව කිසිදිනක අමතක කල නොහැකි බව මා දනිමි. කදිර්ගාමර් මහත්මිය ද එම වේදනාව, වියෝගය හා විඳවීම හොඳින් දන්නීය. යුද්ධයෙන් වේදනාවට පත්වූවන්ට ඒ අතීතය ඔවුන්ගේ වර්තමානයත්, අනාගතයත් වේ. එබැවින් සංහිඳියාවේ දී අපහසුම කාර්යය එම අතීතය සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්නයි. මා මුහුණදුන් සංවාද අතුරින් වඩාත්ම අපහසු සංවාදයන් නම් දෙපාර්ශවයේම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සමඟ කල කථාබහ වේ. ඔවුන් සිතන ආකාරයට ඔවුන්ගේ සත්‍යය කවදාවත් පැවසීමට නොහැකි වී ඇති අතර අවසානයක් කිසිදිනක ලඟා වන්නේ ද නැත. එමෙන්ම ඔවුන්ගේ දුක වේදනාව අඩුකිරීම සඳහා යොමු වූ දේශපාලන ක්‍රියාවලීන් සමබන්ධයෙන් ද ඔවුන්ගේ කිසිදු විශ්වායක් තිබුනේ නැත. මා බොහෝ විට පවසා ඇත්තේ මා මෙහි නිරත වන්නේ අනාගත පරපුර මේ දුක් වේදනාවන් විඳීමෙන් ගලවා ගැනීම උදෙසා බවයි. මහ සිකුරාදා ගිවිසුමෙන් පසු ඇතිවු ඉතා දරුණු ත්‍රස්ත ප්‍රහාරය මේ අවස්ථාවේ දී මට සිහිපත් වේ. එමඟින් උතුරු අයර්ලන්ත සාම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනාශ වන්නට ඉඩ තිබුණි. විපතට පත්වූවන්ගේ පවුල් වල සාමාජිකයන් හමුවීමට මා ගිය අයුරුත් ඔවුන් සිටි දුක්ඛත තත්වයත් මට සිහිපත් වේ. එහිදී එක් පුද්ගලයෙක් කී දෙයක් මට කිසිදිනක අමතක නොවේ. ඔහු පැවසුවේ දැන් මිනිසුන් කියාවි ඔබට නවතින්න කියා. නමුත් මා හිතන්නේ ඔබ තවත් ඉදිරියට යා යුතුයි කියායි. මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම අතීතය විභාග කරනු ඇත. ලොව වටා බොහෝ රටවල් එය විවිධාකාරයෙන් සිදුකොට ඇත. රුවැන්ඩාවේ විශේෂ අධිකරණ ක්‍රමයක් යටතේ මිනිස් සංහාරයට ගොදුරු වූවන් සහ එය සිදුකල අපරාධකරුවන් තමන්ගේ අදහස් එකිනෙකා සමඟ හුවමාරු කරගත්හ. දකුණු අප්‍රිකාවේ මේ සඳහා සත්‍යය හා ප්‍රතිසංවිධානය පිළිබඳ කොමිසම ක්‍රියාත්මක විය. උතුරු අයර්ලන්තයේ මහා ඛේදවාචකයක් වූ ලෙයින් වැකුණු ඉරිදා දිනය සම්බන්ධයෙන් අපි විශේෂ පරීකෂණයක් කලෙමු. මෙම ඛේදවාචකය කතෝලික ප්‍රජාව තුල දැඩි වෛරයක් නිර්මාණය කල සිදුවීමක් විය. එමගින් අප අපේකෂා කලේ එයට මුහුණදුන් මිනිසුන් විඳි වේදනාව තේරුම්ගැනීමටත් එයින් මිදීම සඳහා ඔවුන්ට උදව් වීමටත්ය. එබැවින් ලංකාවාසීන් වශයෙන් ඔබගේ ස්වෛරීත්වයට අනුකූලව ඔබට ගැලපෙන ක්‍රියාවලියක් නිර්මාණය කරගැනීම සඳහා ඔබ උත්සාහ ගත යුතුයි. නමුත් එය විශ්වාසනීය මෙන්ම ගැඹුරු ක්‍රියාවලියක් විය යුතු අතර ඒ හරහා විපතට පත්වූවන්ට ඒත්තු ගැන්විය යුතුයි එමගින් සිදුවන්නේ ඔවුන්ගේ වෛරය හා වේදනාව සුවපත් කිරීම මිස එය ඇවිස්සීමක් නොවන බව.
ඒ අනුව උතුරු අයර්ලන්තයේ දී මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල සාම සාධනයේ දී මා උගත් කරුණු මේවා වේ.
සංහිඳියාව සඳහා වූ ක්‍රමවේදයක් තිබෙනවා. යහපත් මිනිසුන් එහි භාරකාරීත්වය දැරිය යුතුය. එය නිසි ලෙස සංවිධානය වී ඇති බවට වගබලා ගත යුතුය. මෙහිලා සිහි තබා ගත යුතු වැදගත් කරුණක් නම් ඇතැම් පුද්ගලයන් සංහිඳියාව නැතිකිරීම සඳහා ක්‍රියාකරන බව. මිනිසුන්ගේ බිය, අනාරක්ෂිත භාවය හා දුක්ගැනවිලි අවුස්සා ඒ තුලින් ගැටුමක් ඇති කිරීමට මාන බලන පුද්ගලයන් සමාජයේ කොතෙකුත් සිටිනවා. එබැවින් එම තත්වයට මුහුණ දීමට අප හා අප විසින් ගොඩනගන පද්ධතිය ශක්තිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් වූ ධනාත්මක පියවරක් වශයෙන් ඔබ රටේ මෑතකදී පැවති මැතිවරණ හැඳින්විය හැකියි. සංහිඳියාවේ හා සාම සාධනයේ ලා ඔබ අධෛර්යමත් නොවිය යුතුය. 1997 මැයි මස 01 වන දා මා බලයට පත්වූ පසු රජයේ වැඩසටහනේ ප්‍රධාන කාර්යයක් වශයෙන් උතුරු අයර්ලන්ත සාම සාධන ක්‍රියාවලිය ඇතුලත් කිරීමට මා අදහස් කල විට බොහෝ වැඩිහිටි උගතුන් එය අනුවණ ක්‍රියාවක් වශයෙන් සලකා ක්‍රියාකලහ. එබැවින් සාමය සඳහා ක්‍රියා කරන විට ඔබ නොසැලෙන ධෛර්යයෙන් යුතුව ක්‍රියා කල යුතු බවට මා අවධාරණය කර සිටිනවා.
ඔබට මා ලබාදෙන අවසන් අවවාදය නම් ඉදිරියටම යන්න කියායි. දිගටම උත්සාහ කරමින් මිනිසුන් වෙනස් ආකාරයට වැඩුණු නමුදු ඇතැම් දේවල් සම්බන්ධයෙන් ඔවුන්ට පොදු කරුණු ඇති බව තේරුම් ගැනීමට උත්සාහ ගත යුතුය. තම දරුවන්ට සාමයෙන් හා සුරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක ජීවත් වීමටත්, වෙහෙස වී වැඩකිරීමෙන් ප්‍රතිලාභ අත් වන රටක ජීවත් වීමටත් මිනිසුන් කැමති වන අතර නීතියෙන් මතභේද විසඳීම හා නීතිය අපක්ෂපාතීව ක්‍රියාතමක වනු දැකීමටත්, තම ආණ්ඩුව තමන් යටතේ මිස තමා මත පැටවී නැති වීමත්, තම අසල්වැසියා කවරකු වුවද ඔහු සමඟ හොඳින් ජීවත් වීමට හැකිවීමත් මිනිසුන් අගය කරති. මේවා විශ්වීය වටිනාකම් වන නමුත් බොහෝ දෙනාට මෙවන් පරිසරයක ජීවත් වීමේ අවස්ථාව හිමි නොවේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම සඳහා කාරණා දෙකක් අනුගමනය කල හැකියි. පළමුවැන්න නම් මෙය ප්‍රෞඪ ඉතිහාසයක් හා දැවැන්ත අවස්ථා සහිත ආශ්චර්යමත් රටක් බව සිහි තබා ගැනීමයි. දෙවනුව දමිළ, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා සිංහල කුමන හෝ වර්ගයක් වේවා ජනතාවගෙන් අති මහත් බහුතරයේ අභිලාෂයන් හඳුනාගෙන ක්‍රියාකිරීමයි. ඔවුන් සියළු දෙනාගේ හදවතේ ඇති එකම පැතුම සාමය පවත්වාගෙන යාම හා සංහිඳියාව තුලින් තමන් සියළු දෙනා එක් රටක් තුල එක්සත්ව සිටීමයි. එවිට මෙම රටට සපුරා ගත නොහැකි ඉලක්කයක් නැතැයි මා විශ්වාස කරනවා. එබැවින් මෙය ඔබට ලැබී ඇති දැවැන්ත අවස්ථාවක්. අවසන් වශයෙන් මා කියන්නට කැමතියි ශ්‍රී ලංකාව තුල මා ඉතා සතුටින් කාලය ගතකල බව. මෙහි ජනතාව ඉතා කාරුණිකයි. එමෙන්ම පරිත්‍යාගශීලීයි. අද දින මා පිටත්ව යන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් සමඟින්. ඉක්මනින්ම නැවතත් ලංකාවට පැමිණීමට මා බලාපොරොත්තු වෙනවා..




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇඳිරි තාම මොලේ ඉස්සාගේ වගේ නේද. ඕව කියන්න වෙන්නේ නැහ ඉතින් මේ ආත්මෙදිවත්. කොටි යුද්දේ විකුණන් කාපු කාලේ ඉවරයි. (අ)
අද වනවිට ආගමක නිදහස ආගමික අන්තවාදය උදෙසා ක්‍රියාත්මක වන බැවින්. ඕනෑම ආගමක් දෙස අවධානයෙන් බලන්න. එවිට ඔබට එහි අන්තවාදී වූ කොටසක් ද සිටින බව වැටහේවි. ඔවුන් ආගමික ඉගැන්වීම් විකෘති කර ඒවා ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා භාවිතා කරති.(නදී)
අන්තිම ඡායරුපයේ වම පස කෙලවරේ ඉන්න කෙනා කවුද (අ)
බලපල්ලා කොච්චර ප්‍රීතියෙන් උජරුවෙන්ද කියලා අපේ මහලොකු නායකයෝ මේ ඉරාකයේ මිනිස්සු දසදහස් ගණනක් මරපු අය එක්ක එකට ඉන්න.(අ)
කැප්පෙටිපොළ ඇයි සමලිංගිකයෙක් වෙච්ච එක? (බ)
හේකිත්ත, කොටි යුද්ධය විකුණගෙන කමින් සිටියේ කවුද, එම ජාවාරම අවසන් කරමින් යුද්ධය නිම කළේ කවුද කියල ඔබ දන්නේ නැද්ද? (අ)
හේකිත්ත ඊයේ පෙරේද ඉපදිලා තියෙන්නේ එ්කයි ඉතිහාසේ දන්නේ නැත්තේ (බ)
මෙහි අදහස් පල කරනා සියලුම බුද්ධිමතුන් වෙත පෙන්වාදීමට කැමති සමහරවිට ඔබ අතරින් සමහරෙක් දෙනාගේ සිත තුළ නොදුටු එහෙත් එතුමා .... දුටු (අපේ රටේ සිදුවිය යුතු).....පළමු වැන්න නම් මෙය ප්‍රෞඩ ඉතිහාසයක් හා දැවැන්ත අවස්ථා සහිත ආශ්චර්මත් රටක් බව සිහි තබාගැනීමයි .දෙවනුව, දමිල ඉස්ලාම් ක්‍රිස්තියානි හා සිංහල කුමන වර්ගයක් වේවා ජනතාවගෙන් අති මහත් බහුතරයේ අභිලාෂයන් හඳුනාගෙන ක්‍රියාකිරීමය් ....ඔවුන් සියලු දෙනාගේ හදවතේ ඇති එකම පැතුම සාමය පවත්වාගෙන යාම හා සංහිඳියාව තුලින් තමන් සියලු දෙනා එක රටක් තුල එක්සත්ව සිටීමය් ....හැමෝම මහජාතියට කොපමණ චෝදනා කලත් ...අදටත් ....රට පුරාවිසිරී සිටිනා අනෙකුත් සියලුම ජාතීන් කොපමණ සුහදව ඉන්නවද කියා නොදන්නේ....මස් රාත්තලම ඉල්ලන මනසින් යුතු කොටස පමනය් .....එම පුද්ගල මානසිකත්වය නැති කිරීමට කාට හෝ හැකිනම් එදාට අපගේ මව්බිම රන් මුතු දුවක් වෙනවා නො අනුමානයි....... (බ)
මොහු ගේ ක්‍රියාවන් නිසා ලිබියාව සහ ඉරකය තවමත් අපායවල් වගේ.. මහා බ්‍රිතාන්‍ය තුල මොහුට ඇත්තේ ඉමහත් අප්‍රසාදයකි.. කරන දෙයක් පරිස්සමින් කලයුතුවේ .. වැඩ වරදින විට බ්ලෙයාර් ගේ වලිගයවත් සොයා ගනු නොහැකි වේ.. (අ)
කතාවන් අගන එකක් සමගිය ,එකමුතුව ,අපි මෙයලට වැඩ දන්නවා,,(අ)
ඇත්තටම මෙය වැදගත් හරවත් දේශනයක්. ටෝනි කියන්නේ අපිට වැරදුන තැන් හදාගන්න කියලයි. නැතුව මෙය අපි බටහිර ගැත්තන් වෙන්න කියනවා නෙමෙයි. අපේ සංස්කෘතියට අනුකුලව අපේ රටේ ආර්තිකය ශක්තිමත් කරනගමන් සංහිඳියාව ඇතිකරලා එකා වගේ සතුටින් ජීවත් වෙන්න කියලයි කියන්නේ. කවුරු හෝ වේවා මේ දේශනාව මම නම් දකින්නේ වැදගත් හරවත් දේශනාවක් හැටියටයි. (අ)
අනේ මෙයාගේ උපදෙස් , මෙයා ගැන හරියට දැනගන්නනම් මෙයා ගැන අහන්න ඉංග්‍රීසි ජතිකයෙකුගෙන් ( ලංකාවෙන් ගිහල්ල ඉංගිරිසි උන අයගෙන් නෙමේ ) මෙයා ලෝකේ අච්චාරුවක් කරපු හැටි . එංගලන්තයේ මිනිස්සු තාමත් තරහෙන් ඉන්නේ මෙයාල හදපු ලිහිල් සරණාගත සංකල්ප නිසා . උපදෙස් ගත යුත්තේ ඒ විෂයට අදාල හොද ඉතිහාසයක් තියන කෙනෙකුගෙන් (බ)
ඉරාකෙ, ලිබියාව විනාස වෙන්නේ ඒ රටවල මුල්බැසගෙන ඇති ජිහාඩ් අන්තවාදය නිසා. නැතිව සදාම් හෝ ගඩාෆි හොද මිනිසුන් නිසා නොවේ. කොහොම වෙතත් මේ කරල තියෙන කතාව විශිෂ්ටයි (නදී)
නාමල් නිව්යෝර්ක් යුද්ධය කාලේ අපි මෙයාලගේ පැත්තේ හිට ගත්තා නම් අපි විසා අරන් යාපනේ යනවා මේ වෙනකොට. රුසියාව චීනය කී පාරක් අපි වෙනුවෙන් නිශේද බලය පාවිච්චි කලාද? (නදී)
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. (නදී)
ආක්‍රමනකයින් මේ රට විනාශ කොට සංහිඳියාවත් දියුණුවත් නැති කළා. අද මේ රට බෙදා වෙන් කරන්න පාලකයින් සමග වෙනත් ක්‍රමයකට කුමන්ත්‍රණය කරන බව ජනතාව තේරුම් ගත යුතුයි.(නදී)
"අතීතය මකා දැමීමට නොහැක. නමුත් අනාගත අවස්ථා කඩාකප්පල් නොවන ආකාරයට අතීතය යම් දුරකට අමතක කිරීමට හැකියාව ඇත. අතීතය පරීක්ෂා කෙරේ නම් එය සිදුවිය යුත්තේ සත්‍යය සෙවීමට මිස පලිගැනීම සඳහා නොවේ." ඔන්න ඔතන තමයි බ්ලෙයාර් මහත්තයෝ ප්‍රශ්නේ තියෙන්නේ. අවුරුදු 30 ක් තිස්සේ ප්‍රබෙකරන්ගේ බෝම්බ කාපු, ගම්වල අහිංසක දරුවෝ මිනිස්සු කෑලි කෑලි වලට කපපුවා , හොයන්න කාටවත් රුදාවක් නැති උනාට 2009 අන්තිම මාස කීපයේ උනේ මොනවාද කියලා දැනගන්න පුදුම උනන්දුවක්. ඒ කාගෙන් කොහොම පලිගන්නද යන්නේ කියලා, නොතේරෙන්න තරම් අපි බබ්බු නෙමේ (නදී)
ලංකාවේ මුල් බසැගිය බරපතල ප්‍රශ්න ගොඩක් තිබේ. ඉන් එකක් නම් රාජ්‍ය බලය අනිසි ලෙස යොදා (පොලිසිය සහ හමුදාව මගින් ) ලංකාවේම පුරවැසියන් ගේ මානව අයිතිය බරපතල ලෙස කඩකිරීම වූ හැම විටකම ඒවා කරවූ සහ කල පුද්ගලයන්ට කිසි දඬුවමක් නොලබා නිදැල්ලේ සිටීමට ඉඩදී බලා සිටීමය. මෙය තව දුරටත් සිදුවීමට ඉඩ දිය නොහැක. (නදී)
සංහින්දියව යනු යමෙක් අතින් වැරද්දක් වූ විට ඒ වරද පිළිගෙන ඒ වෙනුවෙන් සමාව ගැනීමයි (නදී)
සංහිඳියාව යනු යමෙක් අතින් වැරැද්දක් වූ විට ඒ වෙනුවෙන් සමාව ඉල්ලීමය. මෙහිදී මුලින්ම උතුරේදී වැරැද්දක් වූ බව පිළිගත යුතුය. මගේ බලාපොරොත්තුව සහ විශ්වාසය නව ආණ්ඩුව මෙය කිරීමට තරම් දියුණු බවය. (නදී)
අනිවාර්‍යෙන්ම.. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙකු වු ඔබතුමා අපටත් ඒ තත්ත්වයට එන්න උදව් කරන්න.... අපි සිටගත යුත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග මිස රුසියාව චීනය වැනි ඒකාධිපති රටවල් සමග නොවේ...(අ)
විශිෂ්ඨ කතාවක්.... අපේ රටටත් බ්‍රිතාන්‍ය මෙන් ධනයෙන් ආඩ්‍ය වූ, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සපිරුනු රටක් බවට පත්වීමට අවස්ථාව ලැබේවා... (අ)
සමහරු (විශේසයෙන්ම ජාතිවාදීන් ) මේවා අහලා පුරුද්දට බටහිරට බනීවි... නමුත් හෙට වීසා දෙනවා කිව්වොත් ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යාලය ඉස්සරහ දිග පෝලිමක් ඇති... (අ)
මුන් ඇඟිලි ගහන්න කොටින්ට උදවු කරන්න කලින් රටේ සංහිඳියාවක් තිබුණා (බ)
ඊට කලින් තිබුණේ කුල භේදය වගේ පොඩි පොඩි දේවල් කීපයක් විතරයි. සමහරුන්ට උඩුකය වැහෙන්න ඇඳුමක් අඳින්නවත් නිදහසක් තිබුණේ නෑ. (අ)
ජෝර්ජ් බුෂ් ඉරාකය කුඩුපට්ටම් කරනකොට එංගලන්තේ සිට එයට උල්පන්දම් දුන් මිනිසා දැන් ජාතීන් අතර සන්හිඳියාව ගැන කතා කරනවා. ඉරාකය තවමත් එකම මළගෙයක්, ගිනිගොඩක්. (අ)
"අතීතය මකා දැමීමට නොහැක. නමුත් අනාගත අවස්ථා කඩාකප්පල් නොවන ආකාරයට අතීතය යම්දුරකට අමතක කිරීමට හැකියාව ඇත. අතීතය පරීක්ෂා කෙරේ නම් එය සිදුවිය යුත්තේ සත්‍යය සෙවීමට මිස පලිගැනීම සඳහා නොවේ." ඔන්න ඔතන තමයි බ්ලෙයාර් මහත්තයෝ ප්‍රශ්නේ තියෙන්නේ , අවුරුදු 30 ක් තිස්සේ ප්‍රබකරන්ගේ බෝම්බ කාපු , ගම්වල අහිංසක දරුවෝ , මිනිස්සු කෑලි කෑලි වලට කපපුවා , හොයන්න කාටවත් රුදාවක් නැති වුණාට 2009 අන්තිම මාස කීපයේ වුණේ මොනවාද කියලා දැනගන්න පුදුම උනන්දුවක් . ඒ කාගෙන් කොහොම පලිගන්නද යන්නේ කියලා , නොතේරෙන්න තරම් අපි බබ්බු නෙමේ . (අ)
මට තිබෙන ගැටලුව ලංකාවේ සිංහලයෙකුට තිබෙන දෙමල සහ මුස්ලිම් ජාතීන් ට නැති අයිතිවාසිකම් මොනවද කියන එක (බ).
අප කවුරුත් දන්නවා කදිරගාමර් මහත්තයට විදේශ ඇමැතිකම කිරීමට සියලු සුදුසුකම් තිබුන බව. නමුත් මංගල සමරවීරට එවැනි වගකිවයුතු තනතුරක් කරන්න තිබෙන සුදුසුකම කුමක්ද? (බ)