(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බාල වයස්කාර සිසුවියක් මාස 10 ක පමණ කාලයක් තිස්සේ වරින් වර ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 52 හැවිරිදි විවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොළ පොලිසිය පවසයි.
ලිංගික අපයෝජනයට ලක්වූයේ යැයි පැවසෙන සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට රෝහල්ගත කළ බව හෙට්ටිපොළ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (14) පැවැසීය.
හෙට්ටිපොළ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි විදුහලක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියගේ මව සහ පියා පවුල් ආරවුලක් මත වෙන්වී වෙන වෙනම ජීවත් වන නිසා ඇය ආච්චිගේ සහ සීයාගේ නිවසේ ජීවත් වෙයි.
මෙම සිසුවිය ඉගෙනුම ලබන විදුහලේ සිසුන්ට මුහුණ පෑමට සිදුවී ඇති ඕනෑම කරදරයක් හෝ ගැටලුවක් නිර්නාමිකව කඩදාසි කැබැල්ලක ලියා එය දැමීම සඳහා පැමිණිලි පෙට්ටියක් තබා ඇති බවත් ගුරු මණ්ඩලය විසින් එය විවෘත කර බැලීමේ දී “ගෙරදට එන අසල්වැසි මාමා කෙනෙක් ඉන්නවා. එයා අපේ මුළු ජීවිත කාලයටම හිරේ යවන්න. එතකොට මට කරදයක් නැතිව ඉන්න පුළුවන්” යැයි ලියා තිබු කඩදාසි කැබැල්ලක් හමුවී ඇති බවත් පොලිසිය කියයි.
ගුරුවරියන් කීප දෙනෙකු මෙම සටහන ලියූ සිසුවිය හඳුනාගෙන ගුරු මණ්ඩලය සමග සාකච්ඡාකර මේ පිළිබඳව හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සිවිල් ඇඳුමින් සැරසුණු කාන්තා පොලිස් නිලධාරිනියක් පාසලට යවා ඇති අතර ඇය එම සිසුවිය හමුවී කාරුණික ලෙස තොරතුරු විමසීමේ දී තමාගේ සීයාගේ හිතවතකු නිවසට පැමිණෙන බවත් ඔහු තමාට ලිංගික හිරිහැර කරන බවත් සිසුවිය පොලිස් නිලධාරීණියට පවසා ඇත.
මොහුගෙන් සිදුවන හිරිහැර ඉවසා සිටීමට නොහැකි නිසා මෙවැනි ලිපියක් ලියා පැමිණිලි පෙට්ටියට දැමූ බව ද සිසුවිය පවසා ඇත.
බාල වයස්කාර සිසුවිය හෙළි කළ තොරතුරු මත පරීක්ෂණ පවත්වා හෙට්ටිපොළ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු මාස 10 ක පමණ කාලයක සිට වරින් වර නිවසට පැමිණ කිසිවකු නොමැති අවස්ථාවල දී සිසුවිය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය විණී යැයි ද පොලිසිය කියයි.
සැකකරු බාලවයස්කාර සිසුවියගේ සීයාගේ කිට්ටුම හිතවතෙකු යැයි කියති.
හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත විවිධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විමලරත්න, කාන්තා උප පොලිස් පරීක්ෂිකා රත්නායක සහ කාන්තා පොලිස් සැරයන් චන්ද්‍රකාන්ති 471 යන මහත්ම මහත්මීන් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමගම මේ ළමයාගේ අනන්‍යතාවය රැක ගැනීමටත් කටයුතු කරාවි කියලා හිතනවා.
"එයා අපේ මුළු ජීවිත කාලයටම හිරේ යවන්න. එතකොට මට කරදයක් නැතිව ඉන්න පුළුවන්" විනිසුරු වරයාට දරුවාගෙන් හොඳ පණිවිඩයක් !
මෙම විදුහලේ ගුරු මඩුල්ල සහා විදුහල්පතිවරයාට මුලින්ම අපගේ ආචාරය හිමිවිය යුතුයි මේ කළ සත්කාර්යට.
මෙම දැරියගේ වයස අවුරුදු 11ක් යැයි සිතමු, මෙම නඩුව අවසන්වීමට වසර 15ක් හෝ 20ක් අනිවාර්යයෙන්ම ගතවනු ඇත, වසර 20ක් වුවහොත් දැරිය වසර 30ක යෞවනියකි . දූෂකයා වසර 72 ක මහල්ලෙකි. එම අසරන දැරියට සිදුවන්නේ සමාජයේ සියලු අපහසුතා විද දරාගනිමින් නීතිඥයන් පොහොසත් කර තම ලමා විය උසාවිවල ගත කිරීමටය, දූෂකයා ඒ වනවිට මියගොස් තිබීමටද පුලුවන. මා පවසන්නේ ලංකාවේ නඩු ඉක්මනින් අසා වැරදි කරුවන්ට ඉක්මනින් දඩුවම් ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කලයුතුයැයි කියාය..
මේ විදුහල සියලු පාසල් ආදර්ශයට ගත යුතු විදුහලක්. මෙවැනි ඕනෑම පැමිණිල්ලක් නිර්නාමිකව කඩදාසි කැබැල්ලක ලියා දැමීමට හැකි පැමිණිලි පෙට්ටියක් සියලු අද පාසල්වල තිබීම වැදගත් යයි සිතමි.