(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරව සිටි රැඳවියෙකුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවට පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ .

මහනුවර තැන්නේ කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මලිත් නිසංසල සංජීව නමැති මෙම සැකකරු 2022 වසරේ නොවැම්බර් මස 26 වැනි දින දී පාසල් සිසුවෙකුට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියයි .

එම අවධියේදී මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රවෘත්තියක් වූ එම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුට එරෙහිව පීඩාකාරී පනත  යටතේ චෝදනා රැසක් ගොනුකොට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබුණි .

මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හැදෑරූ එම සිසුවා එවකට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමර්ථ 09 ක් ලබමින් උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා සිටියදී එම ඛේදවාචකයට මුහුණ දුනි .

සැකකරු නැවත අත්අඩංගුවට ගැනීම සඳහා සියලු පොලිසිය ඒකාබද්ධව මෙහෙයුම් ආරම්භ කොට තිබේ .