(ටී.කේ.ජී.කපිල)

ස්විට්සර්ලන්තයේ "ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ" (Swiss International Air Line) ප්‍රථම මංගල ගුවන් යානය අද (05) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.

ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට මෙම ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 64 දරන ගුවන් යානය 11/05 දින උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ගුවන් යානයෙන් විදේශීය සංචාරකයන් 96 දෙනෙකු සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියහ.

මෙම ගුවන් සේවය මීට පෙර  කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ 2019 වසර තෙක් සිය ගුවන් ගමන් සේවා පවත්වා ගෙන ගොස් තිබුණි.

ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය අද (05) සිට සතියකට එක් වරක්, එනම්  සෑම සිකුරාදා දිනයකම සුරීච් සහ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඒ සදහා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆග්ල ( Dominic Fergler), සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ෂෙහාන් සුමනසේකර, ගුවන් සංතරණ සේවා ප්‍රධානී නිශාන් අබේවර්ධන, යුනයිටඩ් වෙන්චර් සමාගමේ සභාපති සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ප්‍රවීන් දසනායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක්  සහභාගී වී සිටියහ.