මියන්මාරයේ මැණ්ඩලේ කෞතුකාගාරයේ සංරක්ෂිත කර තිබූ   බුුදු  රජාණන් වහන්සේගේ  ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා එහි  සිට  තායි ගුවන්සේවයට  අයත් ටී.ජී 307  දරන ගුවන්යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ප‍්‍රභූ පර්යන්තයෙන්  අද  අළුයම දිවයිනට වැඩම කළහ.

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ජනතා ප‍්‍රදර්ශණය සඳහා  දිවයින පුරා ස්ථාන දහ නවයකට වැඩම කරනු  ලබන අතර  මින් මෙරට  ශ‍්‍රී ලාංකික බැතිමතුන්ට වෙසක් මාසය පුරාවටම   සර්වඥ ධාතූන් වහන්සේලාට වන්දනා මාන කිරීමේ අවස්ථාව උදාවෙයි.

සර්වඥ ධාතුන් වහන්සේලා සමග  මියන්මාරයේ නයනා වුන් තා හිමියෝ ප‍්‍රමුඛ  දුත පිරිසක්ද ඊයේ එම ගුවන්යානයෙන් මෙරටට වැඩම කළහ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්  ගුවන්තොටුපොල ප‍්‍රභූ පර්යන්තයේදී  මෙරටට වැඩම කළ  සර්වඥ ධාතූන් වහන්සේලා බාරගත් අතර ඒ සමග පැමිණි දුත පිරිසද  ඉතා ගෞරවාන්විතව පිළිගත්තේය.

ඉන් අනතුරුව  අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගුවන්තොටුපල ප‍්‍රභූ පර්යන්තයේ සකස් කළ විශේෂ කුටියක සර්වඥ ධාතූන්  වහන්සේලා තැන්පත් කළ අතර පසුව සියළු  දෙනාම එක්ව  ආගමික වතාවන් සිදු කළහ.

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා  දිවයිනට වැඩම කරවීම සඳහා බෞද්ධයා නාලිකාවේ සභාපති සහ ශ‍්‍රී  සම්බෝධි දහම් පාසල් විදුහල්පති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝද මියන්මාරයට වැඩම කර තිබණි.  මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශයේ  සම්බන්ධීකරණ ලේකම් තුසිත ගල්ලොලූව මහතාද මෙහි  සම්බන්ධීකරණ කටයුතු  සඳහා මියන්මාරයට ගොස් තිබිණි.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය  කරු ජයසුරිය මහතාද, පළාත් සභා අමාත්‍ය දයා ගමගේ මහතාද,  විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ නිලධාරීහු රැසක් පැමිණ සිටියහ.

 1 2 3 4 5 DSC_7198 DSC_7207 DSC_7336