
(සිසිර ලලිත් කුමාර)
පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා, එහි වාන් දොරටු ස්වයංක්රීයව ක්රියාත්මක වීමේ අවදානමක් පවතින බව ශ්රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
එවන් තත්වයක් උද්ගත වුවහොත් ඒ පිළිබඳව ජනතාව නැවත වරක් දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ද ශ්රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
මේ සම්බන්ධයෙන් එම අධිකාරියේ ප්රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය අදාළ අංශ වෙත සහ මහජනතාව වෙත හදිසි පූර්ව දැනුම්දීමක් නිකුත් කර ඇත.
2026 ඔක්තෝබර් 26 වන දින දහවල් 12.00 වන විට කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම මීටර් 696.96ක් (මුහුදු මට්ටමේ සිට උස මීටර්) ලෙස සටහන්ව තිබිණි. එය ජලාශයේ මුළු ධාරිතාවෙන් 78.71%ක ප්රමාණයකි. ජලාශයේ උපරිම ජල මට්ටම මීටර් 703.00ක් වන අතර, එම මට්ටම කරා ළඟා වීම සඳහා ඉතිරිව ඇත්තේ 36.381 මිලියන කියුබික් මීටර් (MCM) හිස් අවකාශයක් පමණි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජලාශයට ලැබෙන ජල ප්රමාණය තවදුරටත් ඉහළ ගියහොත්, ඉදිරියේදී ජලාශයේ වාන් මට්ටම කරා ළඟා වීමට සහ වාන් දොරටු ක්රියාත්මක වීමට ඉඩ ඇති බව පෙන්වා දෙන ශ්රී ලංකා මහවැලි අධිකාරිය මේ හේතුවෙන් කොත්මලේ ඔය දෙපස මෙන්ම මහවැලි ගඟේ පහළ ජලප්රදේශවල වන රිවරසයිඩ් ,මාවතුර,උලපනේ ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්රදේශවල පහත් බිම්වල ජීවත් වන ජනතාව ඉතා දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd