(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයාංගනී)

රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයකට අදාලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි සිරිල් ගාමිණි පියතුමා අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොපැමිණි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

සිරිල් ගාමිණී පියතුමාට ඉකුත් (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව හමුවට කැඳවා තිබු අතර එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණි පියතුමන් ඒ සදහා සතියක කාලයක් ඉල්ලා තිිබණි.

ඒ අනුව අද පෙරවරු 9.30 ට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දැනුම් දි තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජුඞ් කි‍්‍රෂාන්ත පියතුමාගෙන් ලංකාදීපයට කළ විමසුමක දී උන්වහන්සේ පැවසුවේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකොට ඇති බැවින් නීතිඥ උපදෙස් අනුව පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පසුගිය මස 23 වනදා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් වති අන්තර්ජාල සම්මන්ත්‍රණයකදි සිදු කළ ප්‍රකාශයක් මුල්කරගෙන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදලාව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් ප‍්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.