(විනීතා එම් ගමගේ)
කොවිඩ් 19 ඇතුළු  සියලුම බෝවන රෝග පාලන රාජකාරිවලින් අද (18) සිට ඉවත් විමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය  කර ඇත.  සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය  පළවූ  තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.

අමාත්‍යවරියගේ ප්‍රකාශය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා නොදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා ද මෙම තීරණය ගත් බව රෝහණ මහතා සඳහන් කළේය.  සිකුරාදා (17) දහවල් 12.30 ට  කොවිඩි 19 රාජකාරිවලින් ඉවත් වූ බවත් අද සිට සියලුම බෝවන රෝග වැළැක්වීමේ ඉවත් වන බවත් හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරිය එවන් ප්‍රකාශයක් නොකළ බව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බව සභාපතිවරයා එසේ නොකීවේ නම් මාධ්‍ය වාර්තා නිවැරදි කරන ලෙස අමාත්‍යාංශයට අභියෝග කරන බවද පැවසීය

එසේ මාධ්‍ය වාර්තා නිවැරදි කරන තුරු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිසි රාජකාරි බලතල ලබා දෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම ගෙන යාමට බලාපොරොත්තු වන බවද උපුල් රෝහණ මහතා කියා සිටියේය.