(නිමල කොඩිතුවක්කු)

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් ගොවි ජනතාවට සිදු කර ඇති හානියට විරෝධය පළ කරමින් ලබන 16 වන දා කොළඹ දී දැවැන්ත විරෝධයක් සිදුකරන බව සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී  හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

තම වගාවන් සිදු කරගෙන යාමට නොහැකිව දුෂ්කර තත්ත්වයට පත්ව ඇති රට පුරා විසිරී සිටින සියලුම ගොවීන් කොළඹට කැඳවා මෙම විරෝධතාවය පල කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හැකිනම් එම ගොවීන්ගේ බෙල්ලෙ නොව නැට්ටෙන් හෝ අල්ලා පෙන්වන ලෙස රජයට අභියෝග කරන බවත් හෙතෙම පැවසීය.

බෙල්ලෙන් අල්ලා ඕනෑම දෙයක් සිදුකළ කළ හැකියැයි ජනාධිපතිවරයා පවසන්නේ නම් රටට ඇත්තේ දෙයියන්ගේ පිහිට පමණක් බවත් රජයේ වැඩපිළිවෙලට එරෙහිව ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

රට තුළ උද්ගතව තිබෙන ජනතා පීඩනය මුදාහැරීම, ලබන 16 වනදා සිදුකිරීමට නියමිත දැවැන්ත ගොවි උද්ඝෝෂණයෙන් ආරම්භ කරන බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව මහපාරට බසින දවස වැඩි ඈතක නොවන බව ආණ්ඩුවේ ප්‍රධානීන් තේරුම් ගත යුතු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.