(ඩයනා උදයංගනී)

දිවයිනේ සියලු පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිගු කලක් වසා දමා තිබූ පාසල් යළි ආරම්භ කිරීමේ කාර්යයේ දෙවන අදියර ලෙස දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති හෙට (8) සිට ආරම්භ වන බව දදිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

ඒ අනුව සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති බවත් ඒ අනුව මෙම පියවර ගත් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

සියලුම පාසල්වල ඉහළ පන්තිවල සිසුන්ට එන්නත්දීම හමාර කර ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව රටේ පාසල්වල විශාල ප්‍රමාණයක දරුවන්ට ඉක්මනින් පාසල් ජීවිතය ආරම්භ කරන්නට හැකි වනු ඇතැයි ද සඳහන් කළේය.

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති නිසා 6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට සැලසුම් කර ඇතැයි ඇමතිවරයා කීවේය.

අ.පො.ස උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දින මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඒ වෙනුවෙන් දරුවන් සූදානම් කිරීම මේ වන විට සිදුවන බව ද ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.