2012 අගෝස්තු 22 | ප.ව. 06:36
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය බලන්න.
ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ හැඟුම්බර හඬ දෙසවන සිපගනියි.
මීදුම් රොටුවෙන් වැසී ගත් හන්තාන කඳු මුදුනට පායන පුර සඳ පේරාදෙණිය සරසවි බිමේ කිසියම් නේවාසිකාගාරයක හුදෙකලා වූ යුවතියකට පෙනෙනු ඇත්තේ බොඳ වූ ලෙසකින් විය යුතුය. එහෙත් හැමදාමත් මීඳුම් රොටුව හන්තාන වැළඳ ගන්නේ නැත. එබැවින් සරසවි ජීවිතයේ කිසියම්ම දවසක හන්තානට පායන සඳ ඇය දැකගනු ඇත.
ඒ පුරහඳ අතිශයින්ම අලංකාර විය යුතුය. මම ද අහස බලමි.
එහෙත් මට පෙනෙන්නේ කොළඹ ආනන්දයේ කුලරත්න ශාලාවේ සිවිලිම පමණි.
මා මේ සිටින්නේ ”සදානන්දය” නම් වූ ගීත ප‍්‍රසංගය, නරඹමින් බව මට අමතකව ගොසිනි. අමරසිරි පීරිස් නම් වූ ගායන ශිල්පියා ඔහුගේ භාවාත්මක හඬින් මා හන්තාන කරා රැගෙන ගොසිනි.
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
ඔහුම යළිත් ගයන්නේය.
බොහෝ කලකට පසුව ගෙවී ගිය දවසක මුණ ගැසුණු ඇගේ රූපකාය හිතේ මවාගෙන මම යළිත් දැහැන්ගත වෙමි.
ඉනික්බිති ඔහු ගැයුවේ
මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත් නොපතන කුමරා කියාය.
එකී ගී පද තුනෙහිම රචකයා වන ධම්මික බණ්ඩාර මට ඉදිරියෙන් වාඩිවී සිටියේය.
කුලරත්න ශාලාවෙන් නික්ම නිවෙසට එන කාලය පුරාවටම මා ජීවත්වූයේ හන්තානෙන් ආයෙමත් ආ යුවතියත් සමගමය.
අමරසිරි පීරිස් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් නොපවත්වන්නේ ඇයි යන ප‍්‍රශ්නය මගේ හිතේ වද දුන්නේ ඉනික්බිතිවය.
එහෙත් ඒ ප‍්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ගෙනෙමින් අමරසිරි පීරිස් නැවත වතාවක් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් පවත්වන්නට සූදානම්ය.
”සත්සැරි අසිරිය මගෙ මේ ඒක පුද්ගල ප‍්‍රසංගයේ නමයි. ඒ කියන්නේ සප්ත ස්වරයේ අසිරිය. මේ නම මට හදල දුන්නේ අරිසෙන් අහුබුදු ශූරීන්.”
අමරසිරි පීරිස් තම නවතම ගීත ප‍්‍රසංගය පිළිබඳව මා සමග දොඩමලූ වෙයි.
”සත්සැරි අසිරිය ගී ප‍්‍රසංගයක් වාර පහලොවක් පමණ පැවැත්වුවා. ඒත් මේ වගේ ප‍්‍රසංගයක් තනිවම හිතුමතේට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හින්ද මමම ඒ ප‍්‍රසංගය අත් හැරල දැම්මා. ඒත් දැන් වසන්ත රෝහණගෙ ලොකු පෙළඹවීමක් මත ආයෙමත් මේ ප‍්‍රසංගය පවත්වන්න මං තීරණය කළා. දැන් මට සහයෝගයට කණ්ඩායමක් ඉන්නවා.
අනිත් පැත්තෙන් මේ වගේ සුභාවිත ගීත ප‍්‍රසංගයක අවශ්‍යතාවය දැන් තදින් මතුවී තිබෙනවා. අපි මේ වගේ ප‍්‍රසංගයක් නොතියා හිටියොත් සුභාවිත ගීතය ඉතා ඉක්මණටම පිරිහිලා යන බව අප තේරුම් ගත යුතු දෙයක්. ඉතින් ලබන සෙනසුරාදා මහනුවරින් ආරම්භ කරන සත්සැරි අසිරිය රටපුරාවටම අරන් යන්නයි මගේ බලාපොරොත්තුව.
කිංස්වුඞ් විද්‍යාලීය 94 ආදිශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන විශාරද අමරසිරි පීරිස් සත්සැරි අසිරිය ”හන්තානට සඳ” ප‍්‍රසංගය මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදී අගෝස්තු 25 සෙනසුරාදා සවස 6.30ට
|
අමරසිරි පීරිස් ඔහුගේ ජනප‍්‍රියම ගීතාවලියට මෙම ප‍්‍රසංගයේ දී පණදීමට බලාපොරොත්තු වෙයි.
ඔහු සංගීත ජීවිතය ආරම්භ කළේ ගුවන් විදුලියේ වයලීන වාදකයකු ලෙසිනි. ඉනික්බිතිව එකල අතිශය ජනප‍්‍රිය වූ ඒකපුද්ගල ගී ප‍්‍රසංග ගණනාවක වයලීන වාදකයකු ලෙස කටයුතු කළේය. පණ්ඩිත් අමරදේවයන්ගේ ශ‍්‍රවණ ආරාධනා මෙන්ම ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද නන්දා මාලිනිය වැනි ශිල්පීන්ගේ ඒක පුද්ගල ගී ප‍්‍රසංග රැසක වයලීන වාදකයකු ලෙසින්, ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක පැවතිය යුතු ප‍්‍රාසාංගික ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබාගත්තේය.
ඔහු ගායකයකු වීමට කවදාවත් සිහින මැව්වේ නැත. සංගීත ලෝකයට පිවිස වසර විසිපහකට පමණ පසු එකෝමත් එක දවසක ඔහුට ගායන වරම් හිමිවිය.
”මට ඒ අවස්ථාව ලබාදුන්නේ කේමදාස මාස්ටර්... අමරසිරි මේක කියනව බලන්න කියල මට ලඳුනේ ගීතය දුන්නා ඉතිං මං ගායනා කළා. ගීතය සාර්ථක වුණා. ඊට පස්සෙ චිත‍්‍රපටවල, ටෙලි නාට්‍යවල ගීත ගායනා කරන්න අවස්ථා ලැබුණා. හැබැයි මං ගොඩාක්ම ජනතාව අතරට ගියේ ඔබ ඇපල් මලක් වගේ ගීතයෙන්.
අමරසිරි පීරිස් අතීතය සිහිපත් කරන්නේ සතුටිනි.
මේ වනවිට ඔහු වඩාත්ම ජනප‍්‍රියව ඇත්තේ වියපත් බඹරා, හන්තානට පායන සඳ හා ඔබ ආයෙමත් ඇවිදින් යන ගී ත‍්‍රිත්වය හරහාය. ඒ ගී වලින් එකක් හෝ ප‍්‍රචාරය නොවන දවසක්, ප‍්‍රචාරය නොවන ගුවන් විදුලි නාලිකාවක් නැති තරම්ය. අමරසිරි පීරිස් ඒ තරමටම ජනප‍්‍රියය. ඔහුගේ ගීතාවලිය ඒ තරමටම ජනප‍්‍රියය.
ඉතින් මේ ගීතාවලිය රස විඳින්නට රසිකයනට ලැබෙන අවස්ථාව මහඟු අවස්ථාවක් බව නොලියා සිටිය නොහැකිය. නාලක අංජන කුමාර හා සුසිල් මුණසිංහ සංගීත අධ්‍යක්ෂණයෙනුත්, නිරෝෂා විරාජිනී උරේෂා රවිහාරි හා ජනනි පීරිස් යුග ගායනයෙනුත් වසන්ත රෝහණ ගේ පිටපතින් සහ කථනයෙනුත් විචිත‍්‍ර වන සත්සැරි අසිරිය රැගෙන එන ගාන්ධර්වයාණනි, ඔබ ආයෙමත් ඇවිදින්ය. ලස්සන වසන්ත කාලයක පිපි ඇපල් මලක් වන් සත්සැරියක අසිරියක් රැගෙන ඔබ ආයෙමත් ඇවිදින්.
සටහන - ශාන්ත කුමාර විතාන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට පුළුවන්නම් ඔබ වැනි ගායකයන් එක් කෙනෙක් හිරි හදන්න සංගීතයට ප්‍රේශ්ෂකයනට කරන ලොකුම දායාදයක් ජයවේවා. නිරෝගී සුවය පතමි (අ)
එකතැනක සමාධිගත වෙලා පැය ගණනක් වුවත් අහගෙන ඉන්න පුලුවන් කටහඩකුයි ඔබට තියෙන්නේ. (නි)
මම ආසම ගීතය ඔහුගේ,හන්තානට පායන සද සිංදුවයි..(ස)
අමතක කරන්න එපා කියන්න මතක ඇතිව "ඉකිගසා හඬන අතීතයක කදුළු බිංදුවක් ගණුදෙනු කරන්න මට මගේම.....................‘‘ ඔබට හැමදාමත් ජය. (ස)
අමරසිරි පීරිස් ගාන්ධර්වයාණෙනි, ඔබ "අමරණීය සිරියක්"මැයි. (නි)
නිදුක් නීරෝගී සුව ලැබේවා! ඔබේ හඩ සදා අමරණීයයි. (නි)
ඔබ මගේ මනසට සුවය ගෙන දෙන සුන්දර අරනක්. ඔබ මටත් වඩා ජිවත් වේවා. (අ)
ඔබගේ "මලක් වුණේ ඇයි නුඹ" ගීතය අපට දහස් වරක් වුවද ඇසිය හැකියි. (නි)
ඔබ වැනි උසස් පුද්ගලයන් ගැන කීමට වදන් නැත. ඔබට නිදුක් නිරෝගී සුව පතමි. (නි)
සුභ පැතුම්..!!!! (ස)
මගේ ප්‍රියතම ගායකයා ඔබයි..ඔබට දිඝාසිරි. දරුමල්ලන්ගෙන් ඈත්ව දුර රටක තනිව සිටින අපිට ඔබගේ ගීත ආනන්දනීයයි..(ස)
කොමන්ට්ස් ටික නියමයි අපේ අමරසිරි මහත්මාගේ ගීයක් වගේ(ස)
ඔබ කලා ලොවේ රජෙකි...(ස)
හදවතින්ම සුභ පැතුම්..(ස)
'' සඳ ඇවිත් මගේ මිදුලට " මේ ගීතය අපගේ හිත් වලින් නොමැකෙන ගීතයක්..ඔබට දිඝාසිරි.(ස)
ඔබට තව දිගු කලක් ගී ගැයීමට වරම් ලැබේවා! (නි)
අපේ නූතන ගායක දෙපළට දැන් මොනවා හිතිලද දන්නේ නැහැ. (නි)
වියපත් අපගේ දෙසවන් සනහන වියපත් නොවූ කොවුලා ඔබයි. (නි)
සුභ පැතුම්...(ස)
අශාන්, මටත් තියෙන බය ඒකමයි. (නි)
ඔහුගේ ගීතයන්ට සවන් දීම භාවනාවකි. (නි)
හරිම ලස්සනයි. අහගෙන ඉන්න ආසයි, ඇය ගායනා කරන ගීත. (නි)
ඔබට දිඝාසිරි...! (ස)
අපගේ කලාකරුවාණෙනි, ඔබට දීර්ඝායුෂ! (නි)
සිත් පහන් කරන ඔබතුමාට දීර්ඝායු වේවා! (නි)
අපගේ අවංක සුබපැතුම් ඔබට තව දිගු ගමනකට.(අ)
අතිවිශිෂ්ඨ කලාකරුවාණෙනි, ඔබට දීර්ඝායුස පතමි. (අ)
හන්තානෙට පායන සඳ ගේ ගීතයක් යළිත් කිරීමට දෛරිය ලැබේවා. (අ)
මගේ වියපත් බඹරිදු ඔබයි. නිදුක් නිරෝගී හෙට දිනයක් පතමි. (නි)
සුභාවිත ගීත කෙතට මල් වැස්සක් රැගෙන වඩිනු මැන බඹරාණෙනි. (නි)
දෙනෝ දහසකගේ හදවතට අමතන ඔබ දිගුකල් දිනේවා! (නි)
“මට මගේ නොවන ආදරයක්” සිංදුව අපිට එදාට අහන්න ලැබෙයිද? (නි)
සිසිර, ඔයා අහලා තියෙනවද "මට මගේ නොවන ආදරයක්" සිංදුව? (නි)
ඔබට පින්! (නි)
මෙන්න නියම මිනිස්සු. (නි)
දැන් ඇසෙන ඝෝෂාකාරී සංගීතය පරදා තවත් බොහෝ කලක් ගී ගැයීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලීය වේදිකාවේදී "හන්තානට සඳ" පායන දිනය විගස ළඟා වේවා! (නි)
ඔබතුමාගේ ගීත වලට මම ගොඩක් කැමතියි. ඔබට දීර්ඝායු ලැබේවා! (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා ..දැන් ඇසෙන කබල් සංගීතය වගේ නෙමෙයි නෙමෙයි ඔබතුමන්ලාගේ ගීතයක් ඇසීමෙන් පුදුම මානසික සතුටක් ඇති වෙන්නේ..ජය වේවා !! (ස)
ප්‍රසාත් මම ඒ ගීතය රස වින්දා ?ඉතාමත් හොද ගිතයක්.. (ස)
ඔබ විශිෂ්ඨතම ගායකයෙක්...සුභ පැතුම්.. (ස)
"සොදුරිය කාලය කොතරම් නපුරුද ?" ගීතයට මම ගොඩක් කැමති.. නමුත් ඒ ගීතයේ තේරුම මම තාම හොයනවා.. ඔබට දීර්ඝායුෂ! (ස)
සිංහල ගීත රැක ගන්නට දරණ වෑයමට අපගේ ප්‍රණාමය... (ස)
ඔබට දීර්ඝායු..(ස)
තව ටික දවසකින් නූතන රැල්ලේ ගායකයෙක් ඇවිල්ලා මේ වටිනා සිංදු ටිකත් විනාශ කරයිද දන්නේ නැහැ. (නි)
ඔබට තෙරුවන් සරණයි! (නි)