
රුසියාවේ 'ස්පුට්නික් 5' කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කිරීම ප්‍රමාද වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
'ස්පුට්නික් 5 ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත තවමත් අපට ලැබිලා නැහැ. නීතිමය ක්‍රියාපටිපාටිය සම්පූර්ණ වෙලා නැහැ. ප්‍රමාදයක් ඇත්තේ ඒ නිසයි' යනුවෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී මරිඇන්ජෙලා සිමාඕ පැහැදිලි කළාය.
'ස්පුට්නික් 5' විකිණීම සහ බෙදා හැරීම සිදු කරනු ලබන්නේ 'රුසියානු සෘජු අයෝජන මණ්ඩලය' හරහාය. ලෝක සෞඛ්‍ය සංවිධානය දිගටම ඔවුන් සමඟ සාකච්ඡා කරන බවත්, ගැටලුසහගත තත්ත්වය ඉක්මණින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් මරිඇන්ජෙලා සිමාඕ එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
ලොව පළමුවෙන් නිපදවූ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත මෙන්ම ලොව පළමුවෙන් ලියාපදිංචි කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ද 'ස්පුට්නික් 5' ය. ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කර නැත්තේ, එන්නතේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත නොමැති බව පවසමිනි.
එසේ වුවත් අද ලොව රටවල් 45 ක් ඔවුන්ගේ අභිමතය පරිදි 'ස්පුට්නික් 5' එන්නත භාවිත කරයි. රුසියානුවන්ට ලබා දෙන්නේ ද මෙම 'ස්පුට්නික් 5' එන්නත වන අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද එන්නතේ නියමිත මාත්‍රා දෙකම ලබා ගෙන තිබේ. ගැටලු මතුවන්නේ එන්නත ලබාගෙන විදේශ ගතවන අය සඳහාය.
ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් ද ලොව සෙසු රටවල් ද නිරෝධායනයකින් තොරව එම රටවලට පැමිණීමට අවසර ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් නියමිත මාත්‍රා ලබා ගත් විදේශිකයන්ට පමණි. සෙසු එන්නත් ලබා ගත් පිරිස නිරෝධානයට යොමු වීමත්, 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු වීමත් අනිවාර්ය වෙයි.
'ස්පුට්නික් 5' ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ රුසියානු රජයට අයත් 'ගැමලේයා' ඖෂධ නිෂ්පාදන සමාගමය. මේ වනවිට ලොව භාවිතයට ගන්නා අනෙක් එන්නත් මෙන් නොව, 'ස්පුට්නික් 5' එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා එකිනෙකට වෙනස්ය. මේ වනවිට 'ගැමලේයා' ඖෂධ නිෂ්පාදන සමාගම 'ස්පුට්නික් 5 ලයිට්' යනුවෙන් එක් මාත්‍රාවක එන්නතක් ද නිපදවා තිබේ. මෙය ද ලොව රටවල් කීපයක භාවිතයට ගැනෙයි. එපමණක් නොව, පළමුවෙන් සතුන් සඳහා 'කොවිඩ් 19' එන්නතක් ද මෙම ගැමලේයා සමාගම නිපදවා තිබේ.
පසුගිය කාලය පුරාවට ද තම එන්නත අනුමත කරන්නැයි රුසියානු රජය, සෞඛ්‍ය අමත්‍යාංශය සහ ගැමලේයා සමාගම අවස්ථා කීපයකදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටිය ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි. ඒ, සෑම අවස්ථාවකදීම, ලෝක සෞඛ්‍ය සංවිධානය, 'ස්පුට්නික් 5' එන්නත නොයෙක් නොයෙක් අඩුපාඩු පෙන්වා දෙන්න විය. යළිත් වරක් එන්නත අනුමත කරන්නැයි රුසියාව ඉල්ලා සිටියේ මීට සතියකට පෙරය. එම ඉල්ලීම ද ප්‍රමාද වන බවක් මේ වනවිට පෙනී යයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමත නැති එකක් ලංකාවේ මිනිස්සුන්ට විදගෙන ගියේ මොකටද.?