(නිමල කොඩිතුවක්කු)

පොලීසිය ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණය යොදා වැළැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළත් කොළඹ හයිඩ් පිටියේ  පැවිත්විමට නියමිත සමගි ජනබලවේගයේ විරෝධතාවය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව හෙට (16) පස්වරුවේ පවත්වන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූහ.

සමගි ජනබලවේගය කොළඹ හයිඩ් පිටියේදී පවත්වන විරෝධතාවය සම්බන්ධයෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසූහ.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුනා යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.

ආණ්ඩුවේ මර්ධනයට සහ තර්ජනවලට බියවී සමගි ජනබලවේගය ජනතාව වෙනුවෙන් සංවිදානය කර ඇති විරෝධතාවය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔව්හු සඳහන් කළහ.

ආණ්ඩුවේ වැඩපිලිවල හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවියන්, රාජ්‍ය සේවකයන් ඇතුලු රටේ සෑම ජනතාවටම ඒ සදහා එක්වන්නැයි ආරාධනා කර සිටින බවත්  ඔව්හු එහිදී පැවසූහ.