(අංජුල මහික වීරරත්න)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු සැණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුලත්සිංහල දී පැවසීය.

දූෂිතයන්ට දඬුවම් දී කළු රාජ්‍ය බිඳ දමන බවද ජනාධිපතිවරයා කීය.

" අපේ ආණ්ඩුව -වසර දෙකයි රටට සුබයි" යන තේමාවෙන් බුලත්සිංහල දී ඊයේ (6)පැවති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ද ජනාධිපතිවරයා එහිදී කීය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් වලට අදාළ තීන්දුව නුදුරේදී ලැබෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවී තිබුණු බව කී ජනාධිපතිවරයා අදාළ තීන්දුව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී එය සම්මත කරගන්නා බව ද සඳහන් කළේය.

"මතක තියාගන්න. අපි මේ තීන්දු තීරණ ගන්නේ ජනතාව වෙනුවෙන්. ගන්න කිසි තීන්දුවක් ආපස්සට හරවන්නේ නැහැ" යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.