(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික හා පළාත් මුද්‍රණකරුවන් අතර ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩ නැගීමේ අරමුණින් ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සහ වවුනියාව දිස්ත්‍රික් මුද්‍රණකරුවන් අතර උපාය මාර්ගික සංසදයක් පසුගිය 18 වැනිදා පැවැත්විණ.

එසේම කලාපීය මුද්‍රණකරුවන්ට ජාතික මට්ටමින් සිය මුද්‍රණ කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන පරිදි ඔවුන් බලගැන්වීම සඳහා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දිරිමත් කිරීමද එම සංසදය පැවැත්වීමේ එක් අරමුණක් වී ඇත.

මෙම සංසදය ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු ජනක රත්නකුමාර, 1 වන උප සභාපති නිශාන්ත පෙරේරා, 2 වන උප සභාපති සෙන්තිල්නාදන් සහ විධායක කමිටු සාමාජිකයින්ගේ නායකත්වය යටතේ පැවැත්විණ.

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ නායකත්වය සහ උතුරු පළාතේ මුද්‍රණකරුවන් අතර ඵලදායී සංවාදය ගොඩනගා ගැනීමටත්, දැනුම බෙදාගැනීමටත්, සබඳතා ගොඩනැගීමටත්, මෙම සංවාදය විවෘත වේදිකාවක් සපයා ඇත.

මුද්‍රණ කර්මාන්තයට තිබෙන අභියෝග, දෙපාර්ශවය අතර සහයෝගීතාවය ගොඩනගා ගැනීම සඳහා තිබෙන අවස්ථා, සම්පත් වෙත ප්‍රවේශය, කුසලතා සංවර්ධනය සහ කලාපීය මුද්‍රණකරුවන් සඳහා තිරසාර වර්ධනයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයෙහි කාර්යභාරය පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.