(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂනායකවරයා අද මේ සභාව භාවිත  කරන්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් නොව ජනප්‍රිය දේශපාලන කාරණා වෙනුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21)  පැවසීය.

විපක්ෂ නායකවරයා මැති සබයේ කාලය අවභාවිත කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එය පාලනයට පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය.

සෙහාන් සේමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

විපක්ෂ නායකතුමා 27(2) යටතේ ප්‍රශ්න ඇසීමේදී වෙනත් දේවල් කතා කරලා තමයි අදාළ කාරණාට යන්නේ. 27 (2) යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට විනයක් හඳුන්වා දෙන්න ඕන. රටේ සැබෑ ප්‍රශ්නවලට මේ සභාව භාවිත කරන්නේ නැහැ. ජනප්‍රිය කාරණාවලට විතරයි අද භාවිත වෙන්නේ. විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ  කාලය අවභාවිත කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා

කාටවත් මම බය නැහැ. මගෙන් උදුර ගත්ත ප්‍රශ්නය ඔයාගේ මේසය  ළඟට ආවා.

රටේ ඩොලර් හිඟයක් තියෙනවා. මේ රටේ හොරාකාපු සල්ලි ටික ගෙන ගන්නයි මම නැගිට්ටේ. අපි නිවටයෝ නොවෙයි කිසිම කෙනෙකුට බය නෑ.

ශෙහාන් සේමසිංහ මහතා

මේ විදිහට හැම මන්ත්‍රීවරයෙකුගේම නම කියලා විපක්ෂනායකවරයා චෝදනා කරනවා නම් ඒක ලොකු ගැටලුවක්. මගේ නමත් කිව්වා.  මගේ වරප්‍රසාදයක් කඩ වෙනවා. දකින දකින කෙනාට චෝදනා කරනවා. මේ විදිහට මේ සභාව ගෙනියන්න බැහැ.