(රෝෂන් තුෂාර)

හිටපු ජනපති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොමඟ යවමින් සහ රජයේ ප්‍රසම්පාදනය ක්‍රියාවලියකින් තොරව  බදු ගිවිසුමක් අත්සන් කර රජයට පාඩු කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති  නීතීඥ  ලලිත් පියුම් පෙරේරා  ඇප මත මුදා හැරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  නියෝග කළේය.

සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් හේතුවක් පැමිණිල්ල මගින් ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලක්ෂ 10  බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග කළේය. විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව  අම්පාර සාම්පූර්හි පිහිටි ඉඩමක් 2014 වසරේ ජනවාරි මාසයේ බදු ගිවිසුමක් අත්සන් කර  රුපියල් ලක්ෂ 38 මුදලක් අම්පාර ආසන සංවිධායක ශාන්ත ප්‍රේමරත්න මහතාගේ බැංකු ගිණුමකට බැර කිරීමට සැකකරු කටයුතු කර ඇති බවය.

අදාල ඉඩම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බදු පදනම මත ලබාගෙන ඇති බවට සඳහන් කරමින් අතුරු බදු ගිවිසුමක් අත්සන් කර මෙම මුදල් බැර කර ඇති බවත්, එම බදු ගිවිසුමෙන් පසුව අදාල ගොඩනැගිලි  සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ 18 මුදලක් යොදවා ඇති බවත් පැවසීය.

අල්ලස් කොමිසමේ  සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ අනුශා සම්බන්ධපෙරුම මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් මෙසේද පැවසුවාය.

මෙම ඉඩම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විසින් බදු ගිවිසුමක් මත ලබාගෙන තිබූ ඉඩමක් බවට කිසිදු ලේඛනයක් හෝ සාක්ෂියක් නැහැ. එසේ තිබියදී නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අතුරු බදු ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ බදු ගිවිසුමේ පළවෙනි පාර්ශවය ලෙස අත්සන් කරලා තිබෙන්නේ ජාතික තරුණ සේවා සභාව. දෙවැනි පාර්ශවය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇතුළු පිරිස අත්සන් කරලා තිබෙනවා. තුන්වෙනි පාර්ශවය අම්පාර දිස්ත්‍රික් තරුණ සේවා සභාව ලෙස නම් කරලා තිබෙනවා.

නමුත්  මෙම ඉඩමට පළමු බදු ගිවිසුමක් තිබුණා කියලා කිසිදු ලේඛනයක් සාක්ෂියක් හෝ වෙනත් පිළිගත හැකි යමක් නැ.

මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කළා. ඔහු සඳහන් කර සිටියේ ඔහුව රවටා මෙම බදු ගිවිසුම අත්සන් කර ඇති බවය. බදු ගිවිසුම සම්බන්ධයෙන් තමන් කිසිත් නොදන්නා බවත් නියමිත පරිද බදු ගිවිසුමක් අත්සන් කළ බවට විශ්වාස කරමින් අදාළ ලේඛනවල අත්සන් කර ඇති බවත් ඔහු පවසා තිබෙනවා .


සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතාඅධිකරණයට කරුණු දක්වමින් ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය

නීතිඥවරයා මෙසේද පැවසීය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන කටයුතු කළේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් , ඔවුන් තමයි අදාළ ඉඩම තමන්ට අවශ්‍ය බවට ප්‍රධාන කාර්යාලයට ලිපියක් යොමු කරලා තිබුණේ. පළමු බදු ගිවිසුමේ ලේඛන ඉල්ලලා මම තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ නඩුවට බලපෑම් කරන්න මට කිසිදු හේතුවක් නැහැ. ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා යැයිද නීතිඥවරයා සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් විමර්ශන ප්‍රගතිය ජනවාරි 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.