(හර්ෂණ තුෂාර සිල්වා)

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපය ඇතුළත දී පත්වනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(17) පැවැසීය. 

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම කිසිසේත් නොවිකුණන බවත් එම සමාගම වළපල්ලට යෑමට නොදෙන බවත් අමාත්‍යවරයා කීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (17) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කීය. 

ඉල්ලා අස්වන බව සඳහන් කළ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාචිකව දැනුම් දුන් බව ද අමාත්‍යවරයා පැවසීය. 

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ කළමනාකරණය ආයෝජන රැගෙන පැමිණෙන ජාත්‍යන්තරයේ ඉහළම ගුවන් සමාගමක් වෙත ලබා දී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී කීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

“ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපයේදී පත්වේවි. ඒ සම්බන්ධ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම කිව යුතු දෙයක් තිබෙනවා. අපි ශ්‍රී ලන්කන් විකුණනවා, රජයේ බැංකු විකුණනවා කියලා කතා යනවා. කිසිවක් විකුණන්නේ නැහැ. අපි කරන්නේ කළමනාකාරීත්වය බාර දීම පමණයි. අපි පසුගිය වසරේදී රාජ්‍ය බැංකු සංවර්ධනය කිරීම සඳහා එම බැංකුවවල ප්‍රාග්ධනයට පමණක් රුපියල් බිලියන 10ක් යෙදෙව්වා.

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් කටාර් ගුවන් සේවය, ෆ්ලයි එමිරේට්ස් යන සමාගම් මෙන්ම ජපාන, චීන සහ ඉන්දුනීසියානු ගුවන් සමාගම් අවධානය යොමු කර තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා සහ ඉදිරියේදීත් සාකච්ඡා පවත්වනවා.