(යොහාන් භාසුර)

අධික ලෙස දුම පිටවන වාහන හඳුනාගෙන නිකුත් කරන ‘නඩත්තු නියෝග’වලට පසුව ද අදාළ නඩත්තු කටයුතු නොකරන සහ පරීක්ෂාව මඟහරින වාහන ‘අසාධු ලේඛනගත’ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද (7) පැවසීය.

එසේ ‘අසාධු ලේඛනගත’ කරන වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී සහ අනෙකුත් ලේඛන කටයුතුවලදී දැඩි බාධාවලට මුහුණදීමට හිමිකරුවන්ට සිදුවන බවත් වාහනයක කළු දුම පිටවන්නේ නම්, එය හුදෙක් කාර්මික දෝෂයක් නොව පරිසරයට සහ අනාගත පරපුරට කරන අපරාධයක් එබැවින් වහාම වාහන නිසි නඩත්තුවකට යොමුකරන ලෙස ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව කීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහාය ඇතිව මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් වාහන දුම පරීක්‍ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් මෙම මස 6 වැනිදා සිට හෙට (8) දිනය දක්වා ක්‍රියාත්මක කළ බවත් ඒ අනුව ගැටඹේ සහ කටුගස්තොට යන ප්‍රදේශවල ජංගම දුම් පරීක්ෂණ ඒකක මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර එම මෙහෙයුමේදී අධික ලෙස දුම පිටවන වාහන හඳුනාගෙන ඒවාට වහාම ”නඩත්තු නියෝග” නිකුත් කළ බවත් වාහන වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කළේය.

මෙරට මාර්ග පද්ධතිය තුළ පසුගිය මාස කිහිපය පුරා දක්නට ලැබුණු වාහන දුම් දූෂණය පාලනය කිරීම වෙනුවෙන් ”මාර්ගස්ථ දුම් පරීක්ෂාව” මෙම මාසයේ සිට යළිත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් වාහන වායු විමෝචන භාරකාර අරමුදල සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සෘජු ඒකකයක් බවට පත්වීමේදී ඇතිවූ පරිපාලනමය වෙනස්කම් හේතුවෙන් මෙම පරීක්ෂණ කටයුතු තරමක් මන්දගාමී වී තිබූ බවත් වාහන වායු විමෝචන භාරකාර අරමුදල වැඩි දුරටත් සඳහන් කළේය.