(යොහාන් භාසුර)

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) සංවිධානය කරන හත්වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2020) සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඕමානයේදී අද (17) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ඕමානය සහ පැපුවා නිව්ගිනියාව අතර තරග ඕමානයේ මස්කට් නුවරදී අද පස්වරුවේ පැවැත්වේ.

මෙම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය වසරේ (2020) ඉන්දියාවේදී පැවත්වීමට නියමිතව තිබුණ ද ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් කල්දැමූ අතර පසුව එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කළේය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය නැමීබියාවට එරෙහිව අබුඩාබිහිදී හෙට (18) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අයර්ලන්තය, නැමීබියාව සහ නෙදර්ලන්තයට එරෙහිව තරග කිරීමට නියමිත අතර එම කාණ්ඩයේ වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරග අයර්ලන්තයට එරෙහිව අබුඩාබිහිදී 20 වැනිදා ද, තෙවැනි සහ අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව සාජාහිදී 22 වැනිදා ද, පැවැත්වීමට නියමිතය. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ බංග්ලාදේශය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය සහ ඕමානය තරග කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉන්දියාව සහ නවසීලන්තය යන රටවල් අට මේ වන විටත් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තේරීපත් වන කණ්ඩායම් හතර සමඟ ප්‍රධාන තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 12 ක් බවට පත්වේ.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය මේ මස 22 වැනිදා අවසන් වන අතර ප්‍රධාන තරගාවලිය මේ මස 23 වැනිදා ආරම්භ වේ. ප්‍රධාන තරගාවලියේ පළමු තරගය ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර අබුඩාබිහිදී 23 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙවර ලොක් කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිතය.