(නිමන්ති රණසිංහ)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී විෂ වර්ගයක් පානය කිරීමෙන් මියගිය ඉරාන් ජාතික රැදවියන් දෙදෙනාගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන තෙක් සුරක්ෂිතව රඳවා තබන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (17) නියෝග කළාය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවන් දෙදනකු වන මෙම මරණකරුවන් දෙදෙනාගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ට භාරදීමට කටයුතු කරන තෙක් ඒවා සුරක්ෂිතව තැබීමට නියෝගයක් නිකුත් කරන්නැයි බොරැල්ල පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක භාණ්ඩ සහිත පාර්සල් කිහිපයක් ඉරාන තානාපති කාර්යාලයෙන් ඉකුත් 14 වැනිදා මෙම සැකකාර ඉරාන ජාතිකයන්ට බන්ධනාගාරය මඟින් ලබාදී ඇති අතර එහි තිබූ විෂබීජනාශක දියර පානය කිරීමෙන් මෙම මරණ සිදුව ඇති බවට බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ ලබාදෙමින් සදහන් කර ඇති බවත් බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම විෂ වර්ගය පානය කිරීමෙ හේතුවෙන් තවත් ඉරාන ජාතික රැදවියන් 10 දෙනකු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරමින් පවතින බවත් බොරැල්ල පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.