(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ණය ආධාර යටතේ ඉදි කල වැලිගම පොල්වතුමෝදර නව පාලම රජය මගින් විවෘත කිරීමට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ විවෘත කිරීමට උත්සාහ කිරීමත් සමඟ අද (11) එම ස්ථානයේ උණුසුම් තත්වයක් හට ගත්තේය.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට අමතරව කැරලි මර්ධන කණ්ඩායමක් ද කැඳවා තිබිණි.
තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් පැමිණ නව පාලම විවෘත කිරීමට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇතුළු පිරිසක් පැමිණ එහි සමරු ඵලකය නිරාවරණය කර විවෘත කිරීමට උත්සාහ කරන විටම පොලීසිය එය නතර කිරීමට මැදිහත් විය.
මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අතින් අල්ලා ඔහු පසෙකට තල්ලු කර දමා තිබුණි.
ඒ සමඟම පොලීසිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස අතර උණුසුම් වචන හුවමාරු විය.
මෙම පාලම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ මුදල් වෙන්කොට ඉදිකිරීම් ආරම්භ කළ බවත් එය විවෘත කිරීමට වත්මන් රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔවුන්ගේ චෝදනාව විය.
කෙසේ වෙතත් අයුතු ජනරාශියක සාමාජිකයින් වී කලහකාරීව හැසීරීම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පොලීසිය සැක පිට අත් අඩංගුවට ගත්තේය.
ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.
ඊට අමතරව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු පිරිස ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
කෙටි වේලාවකදී එම පිරිස පොලීසිය විසින් ඉවත් කළ අතර ඉන් අනතුරුව තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිච් සුගනුමා යන මහත්වරු ඇතුළු ආරාධිතයින් පැමිණ වැලිගම පොල්වතුමෝදර නව පාලම විවෘත කරන කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදලින් නම් මේක හැදුවේ මොකටද දේශපාලකයෝ මේවා විවෘත කරන්න. මෙවැනි දේශපාලන වහල්බාවයකින් කවදා මේ රට මිදෙවිද?
පාලම හදන්න ණය දුන්නේ කව්රුවත්.
ඔය කියන දේශපාලකයා දන්නේ නැද්ද සල්ලි දුන්නේ ජපන් රජයෙන් කියලා. සියලුම පොදු දේපලවලින් දේශපාලුවන්ගේ නම් ඉවත් කිරීමේ අයිතිය ජනතාව සතු කරගත යුතු කාලය එළඹ ඇත. කිසියම් රටක ආධාර යටතේනම් එම රටේ නම ඇතුලත් කල යුතුවන්නේ කෘත ගුණ සැලකිමක් වශයෙනි. උදා: චීන පාලම, පින්ලන්ත රෝහල, ජර්මානු විදුහල, නෝර්වේජියානු ධිවර කාර්මික විදුහල, ජපන් තක්ෂණ විදුහල ආදි වශයෙන්.
මේ පුවතේ හැටියට මේ පාලම සාදා ඇත්තේ මහජන මුදලින් නොව, ජපන් රජයේ ණය ආධාර යටතේයි. එබැවින් මෙය ජපාන තානාපති විසින් විවෘත කරාම ඇති.
තවම මැර බලයෙන් හරි තමන්ගේ අරමුණ ඉටුකර ගන්න මේ නඩය සුදානම් වන්නේ. මේ අයට නැවත රාජය බලය ලැබුණොත් රටට අබ සරණයී.