
(ඩයනා උදයංගනී)
වැලි ගොඩදැමීමේ නිරත වන කම්කරුවන් වෙනුවෙන් රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට සහ සහන රැසක් ලබාදීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මෙහි පළමු අදියර යටතේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශ තාක්‍ෂණ සේවා සමාගම (GSMB Technical Services) යටතේ මහවැලි ගඟේ වැලි ගොඩදැමීමේ නිරත කම්කරුවන් සඳහා මෙම සහන ලබාදීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව කම්කරුවෙකුගේ මරණයක දී දැනට රුපියල් 10,00,000, තාවකාලික ආබාධිතභාවයට පත් වූ අවස්ථාවක රුපියල් 550,000ක්, සදාකාලික ආබාධිත තත්ත්වයක දී හා කොවිඩ් 19 ඇතුළු බෝවන රෝගයක් ඇති වු අවස්ථාවල රුපියල් 10,00,000ක මුදලක් ලබා දීමට යෝජනා වී ඇති අතර ඔවුන්ගේ දරුවෙක් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි විභාග සමත් වූ විට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් මාසිකව රුපියල් 5000 බැගින් ශිෂ්‍යත්ව මුදලක් ලබාදීම, දීර්ඝ කාලයක් තිස්සේ වැලි ගොඩ දැමීමේ නිරත වන තෝරාගත් කම්කරුවන්ට වාර්ෂිකව රුපියල් ලක්ෂ 15ක් වටිනා නිවාස දෙකක් බැගින් ඉදිකරදීමටත් තීරණය කර ඇත.
එමෙන්ම එම කම්කරුවන්ගේ ඥාතියෙක් මරණයට පත් වු අවස්ථාවල අවමඟුල් කටයුතු සඳහා රුපියල් 10,000 සිට 15,000 දක්වා මුදලක් ලබා දීමටත්, සෑම කම්කරුවෙකුටම මාසිකව රුපියල් 2000ක් වටිනා වියලි ආහාර පාර්සලය බැගින් ලබා දීමටත් සැලසුම් කර ඇතැයි ඇමතිවරයා කීවේය.
එමෙන්ම මෙම කම්කරුවන් සඳහා මසකට දෙවරක් බැගින් වෛද්‍ය සායන පවත්වා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ වැඩ පිළිවෙළක් ද ආරම්භ කරන බව මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
වැලි ගොඩ දැමීමේ නිරත කම්කරුවන් බොහෝ දෙනෙකු අත් පා වල මස් දියවීම, වැලි කූඩ ඉස්සීම හේතුවෙන් පිටෙහි හා හිසෙහි විශාල ගැටිති හටගැනීම, ඇද වැටී අත් හා පාද බිඳීම, කිඹුලන් සපා කෑම නිසා අත් පා අහිමි වීම වැනි ගැටලුවලට මුහුණ දී තිබීම, ඔවුන් මරණයට පත්වුවහොත් පවුලම අසරණවීම ආදී හේතු සළකා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා කීවේය.
මෙහි පළමු අදියර වෙනුවෙන් වැය වන මුදල් GSMB Technical Services සමාගමේ අරමුදල් මගින් දරනු ලබන අතර සෙසු පුද්ගලික ආයතන සමග කටයුතු කරන කම්කරුවන් සඳහා එම ආයතන සමග සාකච්ඡා කර පසුව වැඩ පිළිවෙළක් සැකසීමට නියමිත බව ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd