(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විදුලිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය ඉක්මනින්ම දැනුම් දිය යුතු බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු  ජාතික සභාවට ඊයේ (19) දැන්වූහ.

මෙහිදී අදහස් දැක්වූ  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්  සභාවේ ජනක රත්නායක මහතා පැවසුවේ තමන්ට මේ පිළිබඳ තීරණය දැනුම් දිය හැක්කේ  විදුලිය ගාස්තු ගණනය කිරීම් අවසන් කිරීමෙන් පසුව බවයි.

විදුලිය ගාස්තු  වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද  මේ වනවිට හිමිවී ඇත.

විදුලිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීහු ජාතික සභාවට පෙරේදා කැඳවනු ලැබූහ. මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ජාතික සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පෙරේදා(19) පස්වරුවේදී රැස්විය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේමේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සාකච්ඡා කර අවසන් තීරණයක් ගත යුතු බවයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය  ලබන 24 වැනි දා ජාතික සභාව හමුවට නැවත කැඳවීමටද මෙහිදී  තීරණය කෙරිණ.

මේ අතර  ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකාරක සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත එම කාරක සභාවේ සභාපති  පාඨලී චම්පික රණවක මහතා විසින් ජාතික සභාවට  පෙරේදා ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සාකච්ඡාවට  අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, කංචන විජේසේකර සහ  නසීර් අහමඩ් රාජ්‍ය අමාත්‍යවරුන්වන  ඩී.වී. චානක, නීතීඥ සිසිර ජයකොඩි,  ඉන්දික අනුරුද්ධ,  අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  ජොන්ස්ටන් ප්‍රනාන්දු,   පාඨලී චම්පික රණවක සහ  ඒ.එල්.එම් අතාඋල්ලා යන මහත්වරුන්ද   සහභාගී වූහ.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.