(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව මේ වනවිට අත්කරගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය තිරසර ආයෝජන, ඉහළ ඵලදායිතාව සහ දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පරිවර්තනය කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ සඳහා සංවර්ධන මූල්‍ය ආයතන, මූල්‍ය ආයතන, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පෞද්ගලික අංශය අතර ශක්තිමත් හවුල්කාරීත්වයක් අවශ්‍ය බවත්, එමඟින් ආයෝජන සඳහා පවතින මූල්‍ය හා අවදානම් හිඩැස් පියවා පෞද්ගලික ප්‍රාග්ධනය වැඩි වශයෙන් ආකර්ෂණය කරගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

ආසියානු හා පැසිෆික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතනවල 49 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී  අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇතිකර ගැනීම මඟින් රටේ ඉදිරි සංවර්ධන අදියර සඳහා ශක්තිමත් පදනමක් සකස් වී ඇති බවත්, එම ස්ථාවරත්වය දැන් තිරසර ආයෝජන සහ දිගුකාලීන වර්ධනයක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය යටතේ කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ ආර්ථික ඒකාබද්ධතාව ගැඹුරු කිරීම ශ්‍රී ලංකාව ඇතුළු රටවලට නව ආයෝජන අවස්ථා ඇති කිරීමට වැදගත් වන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

කලාපීය ඒකාබද්ධතාව වෙළෙඳාම ඉහළ නැංවීමකට පමණක් සීමා නොවන බවත්, ආයෝජන හා මූල්‍ය සම්බන්ධතා ශක්තිමත් කිරීම, සැපයුම් දාම වඩාත් සම්බන්ධ කිරීම සහ වෙළෙඳපොළ අතර සම්බන්ධතාව වැඩි කිරීමද ඊට ඇතුළත් වන බවත් ඔහු පැවසීය.

විශේෂයෙන් කලාපීය සැපයුම් දාම ශක්තිමත් කිරීමෙන් විවිධ මූලාශ්‍රවලින් අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා ගැනීමටත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට කලාපීය ව්‍යාපාර ජාල සමඟ එක්ව නව වෙළෙඳපොළට පිවිසීමටත් හැකි වන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, කලාපීය ආයෝජන සඳහා අවශ්‍ය මූල්‍ය හැකියාව ගොඩනැගීමේදී සංවර්ධන මූල්‍ය ආයතනවල කාර්යභාරය වැදගත් බවත්, විශේෂයෙන් දිගුකාලීන මූල්‍ය පහසුකම් අවශ්‍ය වන හෝ වැඩි අවදානමක් පවතින යටිතල පහසුකම් ඇතුළු ව්‍යාපෘති සඳහා එම ආයතනවල මැදිහත්වීම වැදගත් වන බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

අවදානම් බෙදාගැනීමේ ක්‍රමවේද, ඇපකර, මිශ්‍ර මූල්‍ය පහසුකම් සහ ව්‍යාපෘති සංවර්ධනය හරහා සංවර්ධන මූල්‍ය ආයතනවලට මූල්‍ය හා අවදානම් හිඩැස් පියවීමට හැකි බවත්, එමඟින් පෞද්ගලික අංශයේ ප්‍රාග්ධනය ආයෝජන සඳහා වැඩි වශයෙන් යොමු කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී මුහුණදෙන බාධා හේතුවෙන් ඒවාට සුදුසු මූල්‍ය පහසුකම් ලබාදීම සහ ශක්තිමත් මූල්‍ය පරිසරයක් ගොඩනැගීමද වැදගත් බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ දේශගුණික මූල්‍යකරණය සහ තිරසර මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ජාතික දේශගුණික මූල්‍ය උපායමාර්ගය 2025-2030 සහ මහ බැංකුවේ තිරසර මූල්‍ය මාර්ග සිතියම 2.0 හඳුන්වා දී ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.