(ටී.කේ.ජී.කපිල)

රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු පථයෙහි අතහැර දමා , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත'' (Green Channel) ඔස්සේ පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , අද (28) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු පානදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරි වල නිරත  රේගු නිලධාරීන් දැක බියට පත් වූ මෙම ගුවන් මගියා , සිය ගමන් මල්ල , ගමන් මලු පථ අංක 03 හි අතහැර දමා , ගුවන් තොටුපොළ " හරිත මාවත '' ඔස්සේ පළා යාමට පටන් ගෙන තිබේ .

එහිදී ගමන් මලු නොමැතිව , කඩිනමින් " හරිත මාවත " ඔස්සේ ගමන් කරමින් සිටි මොහු නවතා ප්‍රශ්ණ කිරීමේ දී ඔහු සන්තකයෙහි වූ ජංගම දුරකථනය පරීක්ෂාවකට ලක් කිරීමේ දී මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීහු සමත් වී තිබුණි .

පසුව මෙම ගුවන් මගියා ගමන් මලු පථය වෙත රැගෙන ගොස් , ඔහුගේ ගමන් මල්ල රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

එම ගමන් මල්ල තුළ , විදේශීය නිෂ්පාදිත " එසේ " (Esse) වර්ගයේ දුම්වැටි 20,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 101 ක් සගවා ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .