(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
අක්කර පහකින් යුත් විශාල ගොවිබිමක වගා කළ වට්ටක්කා අස්වැන්න වෙසක් පොහෝ දින (29) දන්දීමට කටයුතු කළ ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පදිංචි පී.ජී. ජයවීර නමැති තරුණ ගොවි මහතකු පිළිබඳව ලංකාදීපයට වාර්තා වේ.
රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැයකොට වට්ටක්කා වගා කළ ද මේ දිනවල පවතින වෙළෙඳ පොළ තත්ත්වය අනුව ඒවා විකුණා ගත නොහැකි හෙයින් තම මියගිය මාපියන්ට පින් පතා වට්ටක්කා දන්සලක් පැවැත්වීමට පියවර ගත් බව ජයවීර ගොවි මහතා පැවැසීය.
අක්කර පහේම මෙවර වට්ටක්කා අස්වැන්න ඉතා සරුවට තිබුණ බවද අලෙවි කළ නොහැකි හෙයින් ඒවා නෙළීම අතහැර දැමීමට මුලින්කල්පනා කළ නමුත් පසුව දන්සලක් දීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
එම වට්ටක්කා තොගය ප්‍රදේශයේ තවත් ගොවි මහත්වරුන් පිරිසක් සමග එක්ව ටැක්ටර් හා ලොරිවල පටවා ගෙන ගලේවෙල, කලාවැව ප්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්ධියටම ගෙනැවිත් එතන දන්සලක් පැවැත්වූ බවද ඔහු කීය.
මේ අතර වාහනවලින් පැමිණි පිරිස් හා දුරබැහැර ප්‍රදේශවලින් වන්දනා ගමන් යන පිරිස් දන්සැල වෙත පැමිණ වට්ටක්කා රැගෙන යන අයුරු දක්නට ලැබිණි.
ජයවීර මහතාගේ මෙම අපූරු දන්සැලට ගොඩවදින ඇතැම් පිරිස් ඔහුට සුබපතමින් හා තවත් පිරිස් කෘෂිකර්ම බලධාරීන්ට දොස්පවරමින් පිටව යන අයුරුද දැකගත හැකි විය.
ජයවීර මහතාගේ සද්ක්‍රියාව පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී ජයවීර මහතා මෙසේ පැවසීය.
අපේ ප්‍රදේශය ඒ කියන්නේ දේවහූව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ගොවි ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක්. එහෙත් දැන් දැන් බොහෝ දෙනෙකුට ගොවිතැන් එපා වෙලා. මමත් ඉදිරි කන්නවල ගොවිතැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙනත් රැකියාවක් සොයා ගන්නවා යැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියාට තම වගා අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම මහා ඛේදවාචකයක් . පෙළපාලි ගොසින් පොලීසියෙන් ගුටිකන, පාරවල් අවහිර කරන උද්ඝෝෂකයන්ට මොහු දී ඇත්තේ මහඟු ආදර්ශයක්. වගකිවයුතු සියලු අංශ වලට මෙය හොඳ කනේ පහරක්.
ඇමතිවරුන්ගේ කයිවාරුව විතරයි. ගොවිතැන් කරන ජනතාවගේ අස්වැන්න හරියට බෙදා හරින වැඩ පිලිවෙලක්වත් නැති රටක අනිත් කරුණු ගැන කවර කතාද.?
අතරමැදි එළවලු මාෆියාවට දේශපාලන බලය තිබෙනවා, එමනිසා ඔය දඹුල්ලේ තිබෙන ආර්ථික මධ්‍යස්ථානය හරහා ඔවුන් ගොවියා සහ පාරිභෝගිකයා ගසා කනවා, ගොවිසංවිධාන වල සහ කෘෂිකර්ම නිලධාරීන් අතරත් ඔවුන්ගේ ඉත්තන් ඉන්නවා, ඔවුන් සැමටම හැමදාම "සුභ අනාගතයක්" ගොවියාට වෙන්නේ කොහේ හරි ගිහින් කුලී වැඩක් කරගන්න. ගොවියන්ගේ දරුවන්ගේ "අනාගතය හැමදාම අදුරේ".
හොඳ දන්සලක්.
රටේ අනෙක් පළාත් වල වට්ටක්ක කිලෝ එකක් කීයද ? හරියට බෙදා හරින යාන්ත්‍රණයක් නැහැ . අපේ රටේ නිෂ්පාදන දිරිගන්වන්න කි දෙනෙක් ඉන්නවද ? දෙපාර්තමේන්තු කියක් තියනවද ? එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නැහැ , මොන පක්ෂේ ආවත් ඔච්චර තමා. හරියට රාජකාරියක් නොකරන රජයේ සේවකයෝ කොච්චර නම් ඉන්නවද ? ඒ ගැන හොයල බලන්න කව්රුත් නැහැ , නිකම් පඩි ගිලිනවා විතරයි.
දඹුල්ලේ එළවලු මාර්කට් එක පාලනය කරන්න යුධ හමුදාවට බාර දුන්න නම් රටේම එළවලු මිල සමතුලිත වෙලා ගොවියට ඉතා සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට මුදලේ වටිනාකමට එළවලුත් ලබෙනබව මට 100% ක් විශ්වාසයි.
මේක හැමදාම වෙන දෙයක් කාළයකට එළවළු විකුණගන්න බැහැ තව කාලයකට අර්ථාපල් තව කාලයක බොම්බයි ලූණු , වියලි මිරිස් රටේ කෘෂිකර්මාන්තය ගැන කිසිම සැලසුමක් වැඩපිලිවෙලක් හෝ දැක්මක් බලයට පත් වුන කිසිම රජයකට නැහැ. අඩුම තරමින් ගොවියන් අතරවත් එවැනි අවබෝධයක් නැහැ. ඉතිං හැමදාම මේ ප්‍රශ්න මේ විදියටම තියේවී.මේ රටේ බහුතරයක් වු ගොවි ජනතාව එක්කො ඔවුන් සංවිධාන වෙලා රටේ ප්‍රශ්න විසදන්න පුළුවන් ආණ්ඩුවක් පත්කර ගත යුතුයී නැත්නම් තමන්ගේ ප්‍රශ්න විසදගන්න ශක්තියක් තියෙන බලයක් තියෙන ගොවි සංවිධානයක් හදා ගතයුතුව තිබෙනවා ඇත.
මේවායින් පෙන්නේ ලංකාවේ ගොවියාගේ අසරනකම. වගා කරනවා කියන්නෙ අද අවදානම් වැඩක් වෙලා. ණය, නියගය වෙලද පොල සියල්ලම ගොවියාගේ ප්‍රශ්න. කවුරුවත් ඒවට විසදුම් දෙන්නෙ නෑ
ඉතාම කණගාටුදායකයි. කෘෂිකර්මාන්තය නැතිව මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ. මේ ප්‍රශ්නය අදක ඊයෙක ප්‍රශ්නයක් නෙවෙයි. ගොවිකම ගැන වැඩ කරන්න ආයතන කීයක් මේ රටේ තියෙනවද ?ගොවිකම නගාලීම නිලදාරීන් කොයි තරම රට සවාරි යනවද? ඔවුන් කිසිකෙනෙකුට තවම මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න පුළුවන් වෙලා තියෙනවද .
දඹුල්ලේ මිල කොච්චර අඩු වුනත් කොළඹ මිල ග්රෑම් 250 රුපියල් 60. එක වෙනස් කරන්න ඔය ආර්ථික නැති කරන්න ඕන.
දඹුලුලේ ගොවියගෙන් වට්ටක්කා රුපියල් හතරට අරන් කොළඹ විකුනන්නේ රුපියල් හතලිහට. මම පෙරේදා ගත්තා. මම හොඳටම දන්නවා මිනිස්සු මේවා වගා කරන්න විඳින දුක. අතරමැදියන් කීප දෙනෙක් ගොවියට වඩා ලාභ ලබනවා. රජය මැදිහත් වෙලා එක් පුද්ගලික අායතනයක් හෝ සම්බන්ද කරගෙන රට පුරා මේ අස්වැන්න බෙදා හැරීමට පියවර ගත්තනම් ටිකක් හරි සහනයක්. අනික පුටු රත් කරන නිලධාරීන් දැනගන්න ඕනේ ගොවියන් දැනුවත් කරන්න. ගොවීන් කරන්නේ එක් කන්නයක කෙනෙක් වගාවකින් ලොකු අාදායමක් ගත්තොත් ඊළඟපාර පළාතෙම ගොවියන් එ් වගාව කරනවා ඉතින් මිළ බහිනවා
අපගේ මනසට මෙම ගොවි මහතාගේ වේදනාව දැනුනට දියවන්නාවේ ඉන්න අයට එය දැනෙන්නේ නැහැ. අවුරුදු 60 ගණනක් අපේ රට ගිහිල්ලා තියෙන්නේ අගාදයට. ඉස්සර ලංකාවේ සමහර අවිධිමත් පැතිවලට "කොරියාව" කියලා නම් පට බැදුනා. දැන් කොරියාව කියන රට කොහොමද ? මේවා මතක් වෙනකොට පිට රටක හිටියත් හිතට අමාරුයි .
කාංචනගේ පුවතට ස්තුතියි. දෑසින් කඳුළු වෑහෙන ඛේදවාචකයක්... කෝ මේ අහිංසකයන්ගේ ප්‍රශ්නවලට විසඳුම්? මොවුන්ට කවදා නම් සහනයක් ලැබේවිද? අනේ! මේ අහිංසක ගොවි උත්තමයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!.
එළවළු අතිරික්ත වී ඇති විට ඒවා කල්තබා ගත හැකි ලෙස සැකසීමට ගොවි සංවිධාන හා ගොවියන්ට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණය ලබා දුන්නානම් ඉතාමත් අගනේය , දන්සැල් දීම මම අගය කොට සලකනවා
වට්ටක්කා වලින් කල හැකි දේවල් බොහෝය. අප පොඩි කාලයේ MD වට්ටක්කා ජෑම් වෙළඳ පොලේ තිබුනා. පැසුණු වට්ටක්කා දුමේ දමා කාලයක් තබා ගත හැක. තවම ලංකාවේ පලතුරු සහ එළවලු සීත කර තබා ගැනීමට ශීතාගාර නොමැත. වියදම් රහිත අව්වේ වියලීම හොඳ කල්තබා ගැනීමේ ක්‍රමයකි. චීනය ඉන්දියාව අව්වේ වියලා මේවා පිටරට යවනවා. වතුරේ දමා ගත්තම අලුත් වගෙයි.
කව්රුහරි ධානපතියෙක් දඹුල්ල පැත්තේ වට්ටක්ක පෙති වේලලා පැකට් කරන ආයතනයක් පටන්ගත්ත නම් වට්ටක්කත් ගොඩ. ගොවියොත් ගොඩ. රැකියා ප්‍රශ්නෙත් ටිකක් ගොඩ !