හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයන මත රුසියානු සමූහාණ්ඩුව තාවකාලික තහනමක් පනවනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාවෙන් රුසියාවට යවන ලද තේ තොගයක තිබී කුරුමිණියකු හමු වීමත් සමඟ රුසියානු සමූහාණ්ඩුව එම පියවර ගෙන තිබේ. මේ අනුව ලබන සඳුඳා සිට ශ්‍රී ලංකාවෙන් තේ සහ අනෙකුත් වැවිලි නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට රුසියානු සමූහාණ්ඩුව තීරණය කර ඇත.
මෙරටින් යවන ලද තේ තොගයක තිබී ‘ට්‍රෝගෝඩර්මා ග්‍රානේරියම්’ යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුරුමිණි විශේෂය හමුවීමත් සමඟ රුසියානු සමූහාණ්ඩුව අදාළ පියවර ගෙන තිබේ. මෙම කුරුමිණි විශේෂය ගබඩා කරන ලද ධාන්‍ය වර්ගවල බහුලව සිටින අතර ලොව සිටින වඩාත් හානිකර කෘමි විශේෂයක් ලෙස ද හැඳින්වේ.
මෙම කුරුමිණි විශේෂය සහල් ඇතුළු ධාන්‍ය වර්ග ගබඩා කරන ස්ථානවල සාමාන්‍යයෙන් සිටින බව පවසන ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි. කිසිදු අවස්ථාවකදී මෙරටින් යවන ලද තේ තොගවල එම කුරුමිණි විශේෂය සිටි බවට තොරතුරු වාර්තා නොවන බව ද එම මණ්ඩලය සඳහන් කරයි.
කෘමීන් හමු වූ තේ තොගය සහිත බහාලුම මීට පෙර ධාන්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත්තක් බවත් එය ශ්‍රී ලංකාවට අයත් බහාලුමක් නොවන බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
රුසියාව මෙරටින් ආනයනය කරන වැවිලි නිෂ්පාදන මත මෙම තහනම පනවා ඇත්තේ තාවකාලික පදනම මත බවත් ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් අදාළ කරුණු පැහැදිලි කරගත් පසු එම තහනම ඉවත් කරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙම අර්බුදය විසඳීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා අවශ්‍ය පහසුකම් සැලසුණු විගස රුසියාවේ සංචාරය කරන බව ද එම නිවේදනයේ දැක්වේ.
මෙම අර්බුදකාරී තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ දෙපාර්තමේන්තුව ආදී ඊට සම්බන්ධිත සියලු අංශ යුහුසුළුව කටයුතු කරන බව ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
රුසියාව යනු ශ්‍රී ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළක් වන අතර වාර්ෂිකව රුසියාවට අපනයන තේ තොග ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 50කට ආසන්න වේ. එය සමස්ත තේ අපනයනවලින් සියයට 17කට ආසන්න ප්රමාණයකි. රුසියානු තේ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තේවලට හිමි ප්‍රතිශතය සියයට 23කි.
මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුසියාව ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 436ක වටිනාකමින් යුත් තේ ටොන් 141,300ක් ආනයනය කරන ලද බව ද දත්ත වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතැනත් කෙලවා ගත්තා නේද? මුළු රටේම ප්‍රමිතියක් නැතිව තිබෙන විට තේ වලට ප්‍රමිතියක් තිබේවිද? පුලුවනිනම් නැවත රත්තරන් බන්දේසියක තියලා තේ වතු ටික සුද්දාට දෙන්න. ඉන්දියන් කාරයා සහ සිංහලයා තේ වතු පාලනයට හෝ එ් සම්බන්ධ වැඩට සුදුසු අය නොවෙයි. ඒ ගොල්ලෝ හොඳ තේ වතුවල කුලී වැඩටය. පලවෙනවා නම් රටේ ප්‍රමිතිය ගැන කෝටියක් දේ ලියන්නම්. හම්බයෝ නම් ලෝකෙටම කසල තේ පටවනවා. අපි බොන තේ එකට කසල තේ කවලම් කරනවා. අපේ මේ කාලකන්නි කමට මූලික හේතුව ලංකාව ඉන්දියාවට ලඟින් පිහිටීමයි.
ඇයි බහාලුම් පිළිබඳව මේ තරම් නොසැලකිල්ලක්?
අර වැට් 69 විස්කි කතාව වගේ කුරුමිණියා සමග තේ බීවොත් හැමදාම ඒ ෆැක්ටරියේ තේම ඉල්ලයි. එතකොට අපිට හැම තේ පැකැට්ටුවකටම කුරුමිනියෙක් දාන්න වේවි.
බමුණු අාරච්චිගේ මතය හරි. මේ මුළු රටේම ප්‍රමිතියක් නැහැ. ප්‍රමිතිය කියන එක මේ අය දන්නේ වත් නැහැ. කාගේ හරි බෙල්ලක් මිරිකලා සල්ලි ටිකක් හොයා ගන්න තමයි හැමෝම දඟලන්නේ. පරිපාලනය කියන එක ගෑවිලාවත් නැහැ.
මේවට ඉතින් නිලධාරිනුත් වගකියන්න ඕනෑ. බහලුම් පරීක්ෂා කරලා තමයි ඒවාට තේ ටික පටවන්න ඕනෑ. සමහර රටවල් මේක නිසා තමයි තර්ඩ් පාර්ටි ඉන්ස්පෙක්ෂන් එකක් අත්‍යාවශ්‍ය කරලා තියෙන්නේ. උදාහරණයකට බංගලිදේශයට අපනයන කරනකොට බියුරෝ වෙරිටස් කියන තුන්වෙනි පාර්ශවයක් බහලුම පරීක්ෂා කරලා හරි.... කියන කන් බහලුම වහන්න බැහැ. දෙයියන්ගේ නාමෙන් කවුරු කවුරුත් එකතුවෙලා මේක හදා ගන්න.
අපේ ජාතික පුරුද්ද කොච්චර වතුරෙන් අතපය සොදාගත්තත් අත ඉඹලා බලාලා සරමෙන් පිහ දැමීමයි. කුරුමිනියෙක් වෙනකෙනෙකුගේ බත් පතේ හිටියොත් ඌ වත් අරගෙන කනවා ඉතින් තේ පොඩ්ඩේ කුරුමිනියෙක් හිටියාට මොකද ඔච්චර රෙකුලාසි කතාකරන්නේ
ලංකාවේ තේ පාලන මණ්ඩලය, අපනයන දෙපාර්තමේන්තුව වැනි ආයතන බොහෝ තිබෙත්දි කසල තේ යැවීම නවත්වන්න බැරිනම් ආයතන වසා දැමිය යුතුයි. ( මෙම අර්බුදය විසඳීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා අවශ්‍ය පහසුකම් සැලසුණු විගස රුසියාවේ සංචාරය කරන බව ද එම නිවේදනයේ දැක්වේ) ඇයි,රැසියාවේ ශ්‍රී ලංකා තානාපති කෙනෙක් නැත්ද? මේ පිළිබදව අගමැතිතුමාගේ “විශේෂ ප්‍රකාශය“ ඉතා ඉක්මනින් නිකුත්කරන තුරැ බලාපොරොත්තුවෙන් සිටිමු
අර යුද නැව ගන්න එක ඉක්මන් කළා නම් ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා.
ඉතින් මොකක්ද ඕකේ ප්රශ්නය. එක කුරුමිණියෙක් හිටියා කියලා මුලු බහාලුමම විසිකරාම හරියනවද? අපි කවදාවත් එක කූඹියෙක් හිටියා කියලා මුලු සීනි බෝතලයම විසිකරලා තියෙනවද?. අනික රුසියානුවන් දෙවැනි ලෝක යුද්ධය දවස් වල මිනීමස් හිටන් කාලා තියෙනවා කන්න දේවල් නැතුව.... ඉතින් කුරුමිණියෙක් හිටියා කියලා මැරෙනවැයි. මේකට වැඩිම වුණොත් අවවාදයක් නිකුත් කරලා ඒ බහාලුමට විතරක් සල්ලි නොදි හිටියා නම් ඒක වඩාත් ගැලපෙනවා. ඔච්චර මිලියන 50 ස් ගණනක තේ දෙන නිසා, එක කුරුමිණියාට මුළු තේ ඕඩරයම තහනම් කරන එක හරි අසාධාරණයි. අනෙක් බහාලුම් වල කුරුමිනියෝ ඉඳලා නෑනේ.
තහනම් කරනවා නම් තහනම් කරන්න ඕනේ... රුසියාවෙන් ගෙන්වන කිසිම වැඩකට නැති දේවල්. රුසියාවෙන් අපි ගෙන්වනවා මිලියන 10.4 වටිනා ඇස්බැස්ටොස්, මිලියන 1.52ක් වටිනා සින්තටික් රබර්, මිලියන 35.6 වටින තිරිඟු. මේ කිසිම අපනයනයක තේරුමක් නෑ. ඇස්බැටොස් ලංකාව වගේ රස්නේ රටකට ඕනේ නෑ. අනික ඒක දැන් ලෝකයේ ගොඩක් රටවල තහනම්, ඇස්බැස්ටෝස් වහලවල්වලට දැම්මම ගේ රත් වෙනවා පෝරණුවක් වගේ. මිලියන ගණන් ගෙවලා සින්තටික් රබර් ගෙන්වන්නේ ඇයි රටේ ඕන තරම් රබර් තියෙනකොට? තිරිඟු ගෙන්වන්නේ පාන්, බනිස් කෑම හදන්නේ... ඒවා තහනම් කරලා, රටේ තියෙන සහල් පිටිකරලා පාන් බනිස් හදනවා නම් ඒක වඩාත් ගැලපෙනවා.
කියන්න දෙයක් නැහැ... ලංකාවනේ...
මම හිතන්නේ වැවිලි කර්මාන්ත ඇමැතිට රුසියාවට යන්නට මාර්ගයක් හදාගත්තා කියලයි...
අලි මදිවට හරක් කිව්වලු...
ඇමති බොර වතුරේ මාළු බානවා. මේ කෙලවෙලා තියෙන වෙලාවේ ඒ පිට ගහො සංචාරයක් සෙට් කරගෙන.. අපේ සාක්කුවෙන්ද එකටත් බිල? ඕවට වග කියන්න ඕන නිලධාරියෝ, සේවකයෝ එහෙම අස් කරනවා. වෙන රටවල හෝ වෙන කොම්පැනි වල නම්.... එහෙම දෙයක් වෙලා නැද්ද තවම.. එහෙම වෙන්නේ කොහෙද? ලංකාවේ දේශපාලන බත් බැලයන්ට නේද.....?
තේකොළ වල නයි හිටියත් හොයාගන්න බැහැ මම හිතන්නේ. පිටරටින් තේකොළ ගෙනැල්ලා හොරාට කරන වැඩ හින්දා කිසිම ප්‍රමිතියක් නැහැ. ප්‍රමිතියට කරන අයටත් හොඳ නැහැ. ලංකාවට කුරුමිණියා ආවා කියලා හොයාගන්න බැරි වුණේ මොකද?
වාසනාවකට අපේ රටේ ලෝකයේ හොඳම තේ පලදරුවත් , එත් අපේ කාලකන්නීන්ට මේක ජීවන මාර්ගයක් කරගෙන තමන්ගේ ආත්ම ගරුත්වයත් රැකගෙන මේකෙන් ජීවත් වෙන්න තරම් දැනීමක් , අවබෝදයක් , වාසනාවක් .... නැහැ .
රුසියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.
"කවදත් තේ වතු, රබර් වතුවල වැඩ කලේ ඉන්දියානු දෙමළ අය" එර්ඩි කියන එක තමයි මමත් කීවේ. ඒ ගොල්ලෝ හොඳ කුලී වැඩට සහ කන්කානි වැඩට තේ වතු පාලනයට සිංහලයෝ සහ ඉන්දියානුවෝ හොඳ නැත. 1972 දී මම FAO ප්‍රොජෙක්ට් එකක් සඳහා නුවරඑළිය තේ වතු වලින් 35% පමණ ප්‍රමාණයකට ගොස් ඇත. එහිදී මම දැක්කා තේ වතුවල තත්වය. සුද්දගේ කාලේ වතු සහ දැන් කාලේ වතු වල වෙනස. අහෝ සුද්දානනී ඔබලා විසින් අපිට සරිකර දුන් මේ වතු දායාදය රැක ගැනීමට සිංහලයාට බැරිය. එබැවින් නැවත පැමිණ බාරගෙන වතුටික සහ තේ කර්මාන්තය බේරා දෙන්න. සිංහලයනී ඔබලාගේ වතු සල්ලි සමග දුන්නත් අපිට එපා.
මෙම තේ තොගය යැවූ බහාලුම ශ්‍රී ලංකාවට අයිති එකක් නොවෙයිලු. ඒක කලින් ධාන්‍ය පටවපු එකක්ලු. එහෙම කියලා අත පිහදාගන්න පුලුවන්ද වගකිවයුතු අමාත්යන්ෂයකට? ඕනෑම කෙනෙක් දන්නවා බහාලුමකට බඩු පැටවීමට පෙර එය හොඳින් සෝදා පිරිසිදු කල යුතු බව. විශේෂයෙන්ම ආහාර සඳහා යොදාගන්නා දේවල් පැටවීමේදී. අපේ රටට ඕනෑම කුණු ගොඩක් විදේශ වලින් ගෙන්වන්න පුළුවන් වුණාට අපි පිට රටවල් වලට යවන බඩු භාණ්ඩ ගැන ඒ රටවල අය හොඳ අවධානයෙන් ඉන්නේ. අපි දැන ගන්න ඕන අපේ බඩු භාණ්ඩවල තියන ගුණාත්මක භාවය රැක ගන්න. එච්.ඒ.සී.සී.පී. නම් වූ ආහාර සංරක්ෂණ ක්‍රියාවලියට අනුව රුසියාව කලදේ හරි.
උතුරු කොරියාවට දමපු සම්බාධක වල ප්‍රතිඵලද මේ එන්නේ මහත්වරුනි, කල්පනාවෙන් ඉදිරියට තව තව හිතාගන්න අමාරු , අගක් මුලක් නොතේරෙන ප්‍රශ්න පැන නගීවි.
අපොයි, මේවා මොන කජ්ජක්ද? අපේ රටේ හාල් මිටිවල පදිංචිවෙන ගුල්ලන් ටික දැක්කා නම් ආයිත් මේ රටට එන්නෙම නැහැ.
මෙන්න අද සිලෝන් ටී වලට වෙලා තියෙන විනාසේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයම හොර වාර්තා නිකුත් කරලා කසල තේ පිටරට යවලා. පොලිසියටත් කොලේ වහලා. ගම්පොලින් අහුවුණු කසල තේ කිලෝ 175000 ක් තේ මණ්ඩලයම මැදිහත් වෙලා රට පටවලා. මේ ඒ තේ නොවෙන්න පුළුවන්. එ්ත් අද ලෝකප්‍රසිද්ධ සිලෝන් ටී වල තත්වය කසල තේ වෙලා. මේවා කාගේ වුවමනාවට සිදුවෙනවද කියලා ජනතාව තේරුම්ගන්න අවශ්‍යයි.
මේවා ආණ්ඩුව බටහිරට ආ වැඩීමේ අනිසි ප්‍රතිඵල තමයි.
පෙට්ටිවලට තේ අසුරන්න කලින් තේ පෙට්ටියකට කුරුමිනියෙක් ගියානම් එක ෆැක්ටරියේ වරදක්. මම කියන්නේ තේ අසුරා ඇති පෙට්ටියකට කුරුමිනියෙකුට ඇතුළු වීමට අවකාශ නැහැ කියලා.