හර්ෂණ තුෂාර සිල්වා
සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් ඕස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලාංකිකයකු බලහත්කාරයෙන් නැවත ශ්‍රී ලංකාවට යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විරෝධය පළ කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය ඇතුළු විදෙස් පුවත් සේවා කිහිපයක් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ඇගයීමක් නොකරමින් එම ශ්‍රී ලාංකිකයා හරවා යැවීමෙන් ඔහු සිය මවු රටේදී දඬුවම් ලැබීමේ අවදානමකට පත්ව ඇතැයි ද මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානය සඳහන් කරයි.
ඕස්ට්‍රෙලියාව සරණාගතයන් සම්බන්ධ ජාත්‍යන්තර ප්රඥප්තියට අත්සන් තබා ඇති බැවින් මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක් යැයි ද එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයේ ප්‍රකාශිකා කැතරීන් ස්ටබර්ෆීල්ඞ් පවසා ඇත.
අදාළ පුද්ගලයා නැවත ශ්‍රී ලංකාවට නොයවා සරණාගත තත්ත්වයට ඉල්ලුම් කිරීමට අවස්ථාව දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානය ඕස්ට්‍රෙලියානු රජයෙන් සහතිකයක් ඉල්ලා ඇතැයි ‘ද ගාඩියන්” පුවත් සේවය වාර්තා කර තිබේ.
කෙසේ නමුත් එම පුද්ගලයා බලහත්කාරයෙන් නැවත ලංකාවට එවා ඇතැයි ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරයි. අදාළ ශ්‍රී ලාංකිකයා ඉල්ලුම් කර ඇත්තේ අදාළ දිනයට පසුව යැයි ඕස්ට්‍රෙලියානු රජය ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් අදාළ ශ්‍රී ලාංකිකයා කරන ඉල්ලීම විශ්වාසනීය ඉල්ලුම් කිරීමක් යැයි ඔහු වෙනුවෙන් පෙනි සිටි නීතිඥයන් පෙන්වා දී ඇත. යුදමය වශයෙන් පරාජයට පත්වූ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සමීප සබඳතාවක් තිබී ඇතැයි ද එම නීතිඥයන් පෙන්වා දී තිබේ. එසේ වුවද ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයකු නොවන බවත් එම නීතිඥයන් උපුටා දක්වමින් ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ආරක්ෂාව සඳහා ඉල්ලුම් කරන පිටු 41ක අයදුම් පත්‍රය ඉංග්‍රිසි බසින් තිබූ බැවින් ද ඒ සඳහා නීතිමය සහාය ලබාගැනීමට නොහැකි වූ බැවින් ද එම පුද්ගලයාට නියමිත දිනට අයදුම්පත්‍රය ලබා දීමට නොහැකි වී තිබේ.
ඕස්ටේ්රලියානු රජයේ නව සංක්‍රමණික නීතිරීතිවලට අනුව නීති විරෝධී ලෙස ඕස්ටේ්රලියාවට පැමිණෙන සහ සරණාගත තත්ත්වය හිමි නොවන සියලු දෙනා නැවත එම රටවලට හරවා යවයි. එලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාට නඩු පැවරීමක් ද සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය ඉවරවෙලා අවුරුදු 9ක් ගතවෙලා, දැන්ද ලංකාවේ ඉන්න බැරුව ඕස්ට්‍රේලියාවට යන්න මතක් වෙලා තිබෙන්නේ.. හිටපු දරුණු කොටිත්, පුනරුත්ථාපනය කරලා ගෙදර යවලා අවුරුදු ගණනාවක් වෙනවා.
මේ මනුස්සයා හිතන්න ඇති ඕස්ට්‍රේලියාවේ ඉන්නේ කොන්ඩේ බැඳපු චින්නු කියලා... අපි නොදැන හිටියට එම රටවල තානාපති සේවා, මෙහෙ වාතාවරණය කොහොමද කියලා එහෙට නිතර නිතර වාර්තා කරනවා. කොටි සංවිධානේ හිටපු සන්නන්ධ නායකයෙකු වන කරුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙලා අමැති කෙනක් වුනානම්, හිටපු ත්‍රස්තවාදී නායකයින්ගෙන් වැඩි දෙනෙක් පුනරුත්ථාපනය වෙලා ගෙදර ගිහින් නම්, සමහරු ප්‍රසිද්ධියේ ව්‍යාපාර කරනවා නම්, මේ මනුස්සය කොටි සංවිධානය සමග සමීප සම්බන්ධතාවයක් තිබුණා කියල මෙහෙ ඉන්න මිනිස්සු මේ මනුස්සයව මරාගෙන කන්නේ නැති බව ඕස්ට්‍රේලියාවේ මිනිස්සු දන්නවා. කවුරුවත් කැමති නැහැ පිට රැටියන් තම රටට තමන්ගේ රටේ නීතිය වැරදි විදිහට භාවිතා කරමින් ආර්ථික වාසි භුක්ති විඳිනවට... රිමාන්ඩ් භාරයේ සිටින තම පියාගේ මානුෂික ඓතිවාසිකම් ගැන සොයා බලන ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ගිය රණවිරුවකුගේ දියණියකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෝ සැලකුවේ කොහොමද කියලා පසුගිය සතියේ පත්තර වල තිබුණා..
ඕස්ට්‍රේලියානු රජයේ නව සංක්‍රමණික නීතිරීතිවලට අනුව නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ සරණාගත තත්ත්වය හිමි නොවන සියලු දෙනා නැවත එම රටවලට හරවා යවයි. එලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාට නඩු පැවරීමක් ද සිදු කෙරේ'... මේ නඩු පැවරීම කරන්නේ නීති විරෝධී ලෙස රටින් පිට වුණාට. මෙතන රටවල් දෙකම එම රටවල තිබෙන නීතිවලට අනුව වැඩ කරලා තියෙනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තිබෙන ප්රශ්නය මොකද්ද?
ආ මේ හිටපු කොටියෙක්නේ හරවලා එවලා තියෙන්නේ. එ්කයි යූ එන් එක විරෝධය දක්වන්නේ.
මේ සංක්‍රමණිකයා සිංහල ජාතිකයෙක් වූවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අන්ධව සහ ගොළුව සිටිනු නියතය.
එක්සත් ජාතීන්ගේ විරෝධය එන්නේ දමිළ පුද්ගලයෙක් ආපසු එව්වොත් පමණයි. මොන තරම් සිංහලයන් හා අනෙකුත් ජාතිකයන් ආපහු එව්වත් නිදිම තමයි !!
ලංකාවට අාවාම කේ.පී. ට දුන්න දඬුවමම දෙන්න.
ඕස්ට්‍රේලියාවේ පහුගිය කලේ සිදුවුණු ත්‍රස්තවාදී ප්‍රහාර නිසා, එරට දේශපාලකයන් පැහැදිලි තින්දුවක් අරන් තිබෙන්නේ... ලෝකයේ කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් හෝ එහි හිතවාදීන්ට ඕස්ට්‍රේලියාව නවාතැනක් කරගැනීමට ඉඩ නොදීමට කටයුතු කළ යුතුයි. එම නිසා සියලුම සරණාගතයෝ එක දූපතකට හෝ එක ප්‍රදේශයකට සිමා කර ඔවුන් සාමන්‍ය ජනයා හා මිශ්‍ර වීම වැලක්විය යුතුයි. ඔවුන් දන්නවා හදිසි ත්‍රස්ත ප්‍රහාරයකදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංගමයට කල හැක්කේ සෝක ප්‍රකාශයක් කිරීම පමණක් බව... තමන්ගේ ආරක්ෂාව තමන් විසින් ම සලසා ගත යුතු බව , යුරෝපයත් මේ විදිහට කටයුතු කළොත් අනාගතයේදී ඔවුන්ට ඇති වියහැකි ප්‍රශ්න බොහෝමයක් විසඳාගත හැක.
අද පමණක් නොවේ, පසුගිය දශක 3 ක් තුල පිට රටවලට සංක්‍රමණය වූ බොහෝ දෙනා ලංකාව අත හැර ගියේ...පැවතී යුද්ධය නිසාම නොව, ආර්ථික හේතුන් මතයි. එදා මෙන්ම අදත්, සමාජයේ පහල ස්ථර වල සිටින බොහෝ දෙනෙක්ට, උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථා, සුදුසුකම් වලට සරිලන රැකියාවක් ලබා ගැනීමේ හැකියාව, තමන්ට සුදුසු නිවසක් සදා ගැනීම, දරුවන් හොඳ පාසලකට දමා ගැනීම වැනි දේ කර ගැනීමට හැකියාවක් නැහැ. එවැනි අය සමහරවිට දිවි පරදුවට තබා රට හැර යන්නේ, තමන්ට නොව, ඊළඟ පරම්පරාවටවත් යහපත් ජීවන තත්වයක් උදා කර දීමටයි. එබැවින් කල යුත්තේ, මෙවැනි අය අත් අඩංගුවට ගැනීම නොව, ඒ අයට වෘත්තීමය පුහුණුවක් ලබා දී ඔවුන් කැමති රටක පදිංචි වීමට ඉඩ සැලසීමයි.
ඔන්න මම කියන්නම් කරන්න ඕනෑ වැඩේ. ඉස්සෙල්ලා බලන්න මෙය මිනීමරපු දරුණු කොටියෙක්ද නැද්ද කියලා. එහෙම නැතිනම් මේ මනුස්සයට පුනරුත්ථාපනය කරලා ජීවත් වෙන්න සලස්වලා මුළු ලෝකෙටම හොඳට ප්‍රචාරය කරලා පෙන්වන්න.