(අංජුල මහික වීරරත්න)

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ක්‍රි.පූ.1-2 සියවස්වලට අයත් නීලගිරි ස්ථූප කැණීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා සහ තායිලන්ත රජයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතූන් වහන්සේලා මෙන්ම මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇත. 

එම සර්වඥ ධාතුන් වහන්සේලා 2026 -05-02 දින සිට 2026-05-10 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට කටයුතු සංවිධාන කර දෙන ලෙස එම භාවනා මධ්‍යස්ථානයේ  රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

 ඒ අනුව, එකී සර්වඥ ධාතුන් වහන්සේලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවීම සඳහාත්, එකී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව ලබා දීම සඳහාත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කරන ලදී.