රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගමකින් ඉවත් කර හමුදාවට භාර දෙන බව රජය පවසයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව අතර සාකච්ඡාවක් පැවැත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජය පෞද්ගලික සමාගමකට විශාල මුදලක් ගෙවන බව මෙම සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

විගණන වාර්තාවකට අනුව, 2009 සිට 2017 දක්වා කාලය තුළ එම පෞද්ගලික සමාගමට රුපියල් මිලියන 7,467.65 ක් ගෙවා ඇති අතර ගිවිසුම කල් ඉකුත් වූ පසු 2016 මාර්තු සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ තවත් රුපියල් මිලියන 1,856.65 ක් ගෙවා තිබේ.

රජය පැවසුවේ භාණ්ඩාගාරයට පැමිණිය යුතු මුදල් අනවශ්‍ය ආකාරයෙන්  පෞද්ගලික සමාගමකට යන බවයි.

මෙම මුදල් නාකස්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය පෞද්ගලික සමාගමෙන් ඉවත් කර ලබන වසරේ සිට එය හමුදාවට භාර දීමට තීරණය කර තිබේ.