(නාමල් පතිරගේ)

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී  හෙල්ල විසි කිරීම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ මීට සුළු වේලාවකට පෙර සමත්විය.

ජපානයේ නගෝයා නුවරදී මීට ස්වල්ප මොහොතකට පෙර අවසන් වූ හෙල්ල විසි කිරීමේ තරඟ ඉසව්වේදී රුමේෂ් තරංග පතිරගේ මීටර 88.55 හෙල්ල විසි කිරීමෙන් එම  දක්ෂතාව දැක්වීය. 

23 හැවිරිදි රුමේෂ් තරංග අද දිනා ගත් මෙම රන් පදක්කම ආසියානු ක්‍රීඩා උළෙල 1951 දී ඇරඹුමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු  මලල ක්‍රීඩාපිටියේ හෝ විසි කිරීමේ ඉසව්වකදී දිනා ගත් පළමු රන් පදක්කම ලෙස ඉතිහාසගත වේ.

ඔහු මෙම වසරේදී පිට පිටම ජය ගත් 10 වැනි ජාත්‍යන්තර තරග ජයග්‍රාණය නගෝයා නුවරදී අද වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනේ.

පසුගිය ජූලි මාසයේදී ග්ලාස්ගෝව් නුවරදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේද රුමේෂ් තරංගයි. රුමේෂ්ගේ අද දක්ෂතා සැසදීමේදී සෙසු තරගකරුවන්ට ඔහු ආසන්නයටවත් පැමිණීමට නොහැකි වූ අතර එහිදී රිදි පදක්කම ඉන්දීය ක්‍රීඩක යසීර් සින්ග් විසින් හිමි කර ගත්තේ මීටර 84.35 කටය.

රුමේෂ් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූයේ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීමේ දී  අංක එකේ ක්‍රීඩකයා බවට පත්ව සිටිමිනි. රුමේෂ් තරංග සිය ඉසව්වේ මේ වන විට මීටර 92.62 ක උපරිම දක්ෂතාවයක් දක්වීමට  සමත්ව තිබේ.