සිරංගිකා ලොකුකරවිට
"ඩොලරය රුපියල් 200ට ගියත් කලබල වෙන්න ඕනෑ නෑ. ඇමෙරිකාව තමන්ගේ ඩොලරය බලසම්පන්න කරනවා. ඒක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් වෙලා. යුරෝපය වෙනම මුදල් ඒකකයක් පවත්වාගෙන යනවා. මේ ලෝක තත්ත්වය තේරුම් අරගෙන අපි ආර්ථිකය හසුරුවනවා. මේක පාලනය කරගන්න පිටරට සල්ලි තියාගෙන ඉන්න අයට ඒ සල්ලි ගේන්න අවස්ථාව දෙන්න ඕනෑ." යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (27) යක්කලමුල්ලේ දී කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් ලක්ෂ 20 බැගින් වැයකර ඉදිකරන ලද යක්කලමුල්ල සහ මාගෙදර නැගෙනහිර නිල සෙවණ කාර්යාල දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමිනි.
එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
"මම ඇවිත් ගියා කිව්වම ඇතැම් අය අහවි ඩොලර් එක කීය ද කියලා. ඩොලර් එක හොඳටම වැඩිවෙලා. රුපියල් 200 ඉක්මවා ගියත් බය වෙන්න එපා. අපි ආර්ථිකය හරියට හසුරුවනවා. ගෑස් මිල ටිකක් වැඩි වුණා. ඒත් පසුගිය ආණ්ඩුවෙන් ගෑස් දීපු ගානට වඩා තවමත් ගාන අඩුයි.
වැරදියට ආර්ථිකය හැසිරුවානම් මේ විදියට කලින් ආණ්ඩුවට වඩා අඩුවට ගෑස්, තෙල් කිරිපිටි දෙන්න බැරිවෙනවා. අපි ජනතාව අමාරුවේ දාන්නේ නැහැ. අපි කිව්වේ නෑ මඤ්ඤොක්කා, බතල , කෙසෙල් අල, ලාවළු කන්න කියලා. එහෙම යුගයකුත් තිබුණා. ලෝකයේ තියෙන ආර්ථික අර්බුදයක් හමුවේ මේ තත්ත්වයට රටේ ආර්ථිකය පවත්වාගෙන යාම ගැන අපි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත්, මුදල් ඇමතිතුමාටත් ස්තූතිකරන්න ඕනෑ.
මම හිතනවා මේ තත්ත්වය පාලනය කරන්න පිටරටවල සල්ලි තියාගෙන ඉන්න අපේ අයට බදු නැතිව, ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතිව ඒ සල්ලි ලංකාවට ගේන්න අවස්ථාවක් දෙන්න ඕන කියලා. අවුරුදු 30 ක් 40ක් පිටරටවල ඉදලා හොඳට හම්බකරපු අය ඉන්නවා තමන්ගේ සල්ලි රටට ගේන්න කැමති නැහැ.
ඒ සල්ලි මේ රටට ගේන්න අවසර දෙන්න ඕනෑ. පරීක්ෂා කරන්නේ නැතිව, කොහෙන් හරි කමක් නෑ සල්ලි ආවම ඩොලරය බහීවි. මම කියන්නේ අදහසක්. එය හොඳ විකල්පයක් වේවි. ලෝකේ කොහෙන් හරි සල්ලි ගෙනත් මේ ඩොලරය අපිට පාලනය කරන්න පුළුවන් වේවි. ඒකට පක්ෂ විපක්ෂ හැමෝගෙන්ම සහයෝගය ඕනෑ."
මෙම අවස්ථාව සඳහා යක්කලමුල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපාලු පාන් ගෙඩිය දැන් 75 සීනි නැගලා පිටි නැගලා හැම බඩුවකම මිල අහස උසට නැගලා මෙයා කියනවා කලබල වෙන්න එපාලු.
තව බදු ගැහුවනම් පිට රටවල ඉදන් සල්ලි එයි.
ඔයගොල්ලෝ මොකට බයවෙනවද? පාර්ලිමේන්තුවෙන් ලාබෙට කෑම එක ලැබෙනවා, තෙල්ටික ලැබෙනවා, අනෙකුත් දීමනා ලැබෙනවා. බදු ගෙවන අපි තමයි බයවෙන්න ඕනේ.
නාහෙට උඩින් වතුර ගියාට පස්සේ, ඉහට උඩින් ගියත් මක් වෙනවද? 200 ට නෙමෙයි 250 ට ගියත් මොකෝ ?
පිටරටින් ඕන තරම් මුදල් ගැටලුවක් නැතුව ගේන්න පුලුවන් එක සහ බදු නැතුව ගෙන්න පුලුවන් ක්‍රමය ඇත්තටම හොද දෙයක්. මොකද පිටරට සැපට ඉන්න පුලුවන් එකේ, මොන කෙනාද බදු ගහන සහ ලක්ශ 5ට වැඩි මුදල් යැවීම් නවත්තලා අහනකොට මේ වගේ රටකට ගෙන්නේ. දැන්වත් ඒවා බලලා හදාගන්න. යල් පැනගිය නිලධාරීන් වෙනුවට අලුත් ලෝකය ගැන අවබොදයක් තියෙන අය ඒවට යොදවන්න.
ඕවා හොදයි ලිදේ ඉන්න මැඩියන්ට. පොඩ්ඩක් ගූගල් කරලා බලන්න. ලංකාවේ රුපියල වැටිලා තියෙන්නේ ඇමෙරිකන් ඩොලර් එකට සාපේක්ෂව විතරක් නෙමෙයි. කැනඩා ඩොලර් එකට, සිංගප්පුරු ඩොලර් එකට, ඔස්ට්‍රේලියා ඩොලර් එකට මේ හැම එකටම සාපේක්ෂව වැටිලා. ඇමෙරිකන් ඩොලර් එකට සාපේක්ෂව වැටිලා තියෙන ප්‍රමාණය වැඩියි. හැබැයි රුපියල හැම දියුණු මුදල් ඒකකයටම සාපේක්ෂව වැටිලා. වාහන ගණන් යන්නේ ජපානේ යෙන් එකට සාපේක්ෂව වැටිලා නිසයි. ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. අපි පිටරටින් ගේන හැමදෙයකම ගැන වැඩි වෙනවා. එතකොට වැටුප් වැඩි කරන්න වෙනවා. ඒකට මුදක් අච්චු ගහන්න වෙනවා.. එතකොට තවත් රුපියල වැඩෙනවා. මේක චක්‍රයක් විදියට යනවා. මේකෙන් එලියට එන්න අමාරු වෙනවා. අන්තිමට මුළු ආර්ථිකයම වැටෙනවා. එකම විසදුම අපේ අපනයන වැඩි කරන්න ඕනේ..
රටට දෙයියන්ගෙම පිහිටයි.
බෑග් එකේ දාගෙන සල්ලි ගෙනාවොත් නියමෙට තියෙයි. ඇපල් ගෙඩියක් ගෙනාවත් ගන්න අය ඉන්න රටේ
ඔව් ඔව් මැති ඇමැතිගොල්ලන්ට ඉතින් ඩොලරය 1000ට ගියත් මොකෝ රටේ මිනිස්සු නේ බර උහුලාගෙන ඉන්නේ.
වාහන පෝමිට් පිනට හම්බවෙන ඔබතුමාලට දාඩිය මහන්සියෙන් හම්බ කරන අයට වගේ ඩොලරයේ නැගීමත් ප්‍රශ්නයක්ද? ....නේද?
ලැජ්ජා වෙන්න, හංගන්න ඕනේ නැහැ... මැද පෙරදිග ඉන්න අපේ කාන්තාවන්ට පින්දෙන්න. ස්තුති කරන්න. ඒ අයගේ සේවාව අගේ කරන්න. ඩොලර් එවනවට මිලියන ගණනින්.
පිටරට සල්ලි තියාගෙන ඉන්න අයට ඒවා ගෙනෙන්න අවස්තාව දෙන්නේ ඒවායිනුත් දේශපාලුවන්ට ගසා කන්න පුළුවන් වෙන්නද? අපේ සල්ලි අපි මහන්සියෙන් හම්බ කරේ. අපේ පවුල්වලට අමතරව අත්‍යවශ්‍ය නැති බැරි අයට දෙන්න කිසිම දුකක් නැහැ. රට දියුණු කරන දෙයකට හෝ විපතින් මුදන්න දෙන්න බැරිත් නැහැ. දීලත් තියෙනවා. හැබැයි මේ යන ජරා ක්‍රමයට සැප වාහන ගන්නයි, පුටු ගන්නයි දෙන්න නම් අපි සල්ලි එවන්නෙත් නැහැ.
ඩොලර් එක නගිනකොට තෙල් මිල නගිනවා , එහෙම වුනහම ඔක්කොම බදු වැඩි වෙනවා. පුලුවන්නම් මිල සුත්‍රය සංශෝධනය කොට තෙල් වලට රජයෙන් ගහන බදු අඩු කරන්න. එතකොට මේ ප්‍රශ්නෙට යම් සහනයක් ලැබෙනවා. ඩොලර් එක 200ට ගියොත් පාරිභෝගික අපි අනිවාර්යයෙන්ම ලොකු අමාරුවක වැටෙනවා. කරුණාකර සංචාරක ව්‍යාපාරය වැනි දේ ලෝකයේ ප්‍රචලිත කරන්න. එතකොට සල්ලි අපේ රටට එනවා. එක කරන්න නම් ඉස්සර කරවාගෙ සංචාරකයන්ට විසා නිකුත් කිරීමේදී රජයෙන් ගහන බද්ද සම්පුර්ණයෙන් ඉවත් කරන්න. පුරාවිද්‍යා ස්ථාන වැනි දේ නැරබීමට ගන්න මුදල හරි අඩකින් අඩු කරන්න.
අනේ මොලයක තරම . 200 වුනොත් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ. හැම දෙයම රටින්නේ ගෙන්වන්නේ.
රටම ගිනි තියපු හනුමන්තලා වගේ පිච්චෙන අපට කලබල වෙන්න එපාලු මෙහෙම අයට ඡන්දේ දුන්නට ලැබෙන දේ තමයි මේ.
අපි මොකටද බය වෙන්නේ. අපේ මුළු කැබිනෙට් එකම බොහොම විද්‍යානුකුලයි.
මේ දේශපාලුවෝ කියන කතා. අපිට අවශ්‍ය දේවල් වලින් 99% ක්ම අපි ආනයනය කරන්නේ පිටරටවල් වලින්. ඉතින් ඩොලර් එක වැඩිවෙනකොට මේ හැම දෙයකම මිල අධික ලෙස ඉහල යනවා. අපේ අදායම ඉහල නොගිහින් මිල අධිකවීම මහජනතාව කොහොම දරන්නද කියලා මේ දේශපාලුව නොදන්නවා නොවෙයි. මේ කොලේ වහලා කියන කතා. මේ අය හිතන් ඉන්නේ මහජනතාව හරක් කියලා.
කලබලවෙන්න ඕනේ නැහැ. ලංකාවේ සියලුම දේ නිපදවනවනේ. ඉදිකටුවේ සිට ගුවන්යානය දක්වා. අපේ රටේ දැනට ඉන්න පාලකයෝ ඇරෙන්න ඕනෙම රටක පාලකයෝ තමන්ගේ මුදල ශක්තිමත් කරන්න කටයුතුකරනවා.
ගෑස් මිල වැඩි උනාට පහුගිය රජය ඒ තරම් නැහැ කියා කීවට මිනිසුන්ගේ දුක ඔයාලා දන්නේ නැහැ කියලා තේරුම්ගන්න. මැතිවරණයක් තිබ්බොත් එදාට ඔයාලට තරු විසිවෙවී.
මේ වගේ දේශපාලකයින්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කිසිම ප්‍රමිතියක් නැතුව හැමදේම චීනෙන් නැත්නම් ඉන්දියාවෙන් ගේනවා. මේ අයටවත්, රජයේ මහබැංකුවේ නිලධාරින්ටවත් තමාගේ මඩිය තරකර ගන්නවා ඇරෙන්න වෙන දෙයක් ගැන හිතෙන්නේ නැහැ. අපේ රටේ දැන් වැඩිම වියදම පිටරට යන්නේ අධ්‍යාපනයට... අන්තරේ පෞද්ගලික ව්ශ්ව විද්‍යාල දානවා.. විරුද්ධ වෙනවා වගේම විශ්වවිද්‍යාලවලට ළමයාට යන එකත් එපාකරලයි තියෙන්නේ.. ඉතින් දෙමව්පියෝ ළමයින්ව සේසතම විකුණලා ඉගෙනගන්න පිටරට යවනවා...
බන්දුල හිතන හැටි වැරදියි. මැතිවරණයක් තිබ්බොත් අපි හැමදාම කරන ගොන්කම එදාටත් කරලා මේවගේ තව අය පත් කර ගනීවි. එච්චරයි.
රටේ ජනතාව කිසි කලබලයක් නෑ. මෙතරම් විනාශයක් රටට කරලා තිබෙද්දිත් මුළු රටේම ජනතාවගේ අනාගතය ඉතාමත් අඳුරුවෙන බවට සක්සුදක් සේ දැන් පැහැදිලිව තිබෙද්දිත් අපි ඔහෙලව විවේචනය පමණක් කරමින් ඉන්නවා. වෙන රටක නම් ජනතාව පාරට බැහැලා ආණ්ඩුව ගෙදර යවලා ඔය ගොඩක් දෙනෙක් හිර ගෙවල්වල... එහෙත් අපි කිසි කලබලයක් නෑ. තව ඕනෙම දෙයක් කරන්න..