(රෝෂන් තුෂාර)

අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ සිටි පාතාල කල්ලි සාමාජික නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක්කටා' ට සහන සැලසීමට රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 20ට අඩුකර රුපියල් කෝටි 12ක් නදුන් චින්තකගේ බිරිඳගෙන් ලබාගත්තේ යැයි කියන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 3 වැනි දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

අල්ලස් පනත යටතේ ඉදිරිපත් කරන සැකකරුවකුට ඇප ලබාදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් විය යුතු බවට ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන අරුණ වරුණහැන්දිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සැකකරුවකු නීතිඥවරයකු වීම ඇප ලබාදීමට සුවිශේෂී කරුණක් නොවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ බන්ධනාගාර ගත වූ විට නීතිඥවරයකුට සිය සේවා දායකයන්ට සේවා සැලසීමට අවස්ථාව නොලැබෙන බවය.

සැකකරුවන්ට රෝගී තත්ත්වයක් ඇති බවට කරුණු ඉදිරිපත් වූවද ඒවා සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කර නොමැති බවත් කෙසේ වෙතත් ඉදිරිපත් කර ඇති රෝගී තත්ත්වයන් මරණාසන්න රෝගී තත්ත්වයෙන් නොව සාමාන්‍ය රෝගී තත්ත්වයන් බවද වැඩිදුරටත් පැවසීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ඇප ප්‍රතික්ෂේප කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කළේය.

සංවිධානාත්මක අපරාධකරුවකු හා පාතාල කල්හි සාමාජිකයකු යැයි කියන මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ සිටි නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක්කටා' ට සහන සැලසීමට රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 20ට අඩුකර රුපියල් කෝටි 12ක් නදුන් චින්තකගේ බිරිඳගෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ අනුෂා සම්බන්ධ පෙරුම මහත්මිය කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.

නදුන් චින්තක අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම රඳවා ප්‍රශ්න කිරීමේදී නදුන් චිංග චින්තකගේ ජීවිතයට තර්ජනයක් නොවීමට, ඔහු බූස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සහ තවත් සහන සැලසීමට මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවට ඉදිරිපත් වන කරුණු අනුව මෙම විමර්ශනය ආරම්භ කළා.

මේ සම්බන්ධයෙන් පාතාල සාමාජිකයකු යැයි කියන මිදිගමරුවන්, නදුන් චින්තකගේ බිරිඳගෙන් සහ මෙම අල්ලසට සම්බන්ධ වූයේ යැයි කියන නිර්මල බණ්ඩාර නොහොත් හර්බි යන අයගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා.

නිර්මල බණ්ඩාර අදාළ සිද්ධියේ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක්ද ලබා දී තිබෙනවා. ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් හඳ පටයක් ද ඉදිරිපත් කරනවා. එම හඬ පටය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර නිවරදිතාවය තහවුරු කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කරනවා. එම හඬ පටය අද මෙම අධිකරණය තුළ වාදනය කරන්න වුණත් පුළුවන්.

මෙම සැකකරුවන් තිදෙනා 2023 වසරේ මාර්තු 23 දින ඩුබායි රාජ්‍යයට ගිය බවට ආගමන විගමන පාලකවරයාගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔවුන් ඩුබායි රාජ්‍යවෙත ගොස් හරක් කටාගේ බිරිඳවන මධුෂිකා මධුවන්ති හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ජයසේකර විශානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා නිර්මල බණ්ඩාර යන අයගේ නිවසේදී හමුවී තිබෙනවා.