(රෝෂන් තුෂාර)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන සැකකරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ඔවුන්ට නීතිඥවරුන් පුද්ගලිකව හමුවිය ස්ථානයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා එම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරමින් අද දන්වා සිටියේය.

සැකකරුවකුට සිය කරුණුවල රහස්‍ය භාවය ආරක්ෂා කරමින් ඒවා නීතිඥවරයාට ඉදිරිපත් කර සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතියක් ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති එම අයිතිවාසිකම් කඩ කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

පොලිසියේ විමර්ශනවලට බාධා නොවන පරිදි එම කටයුතු සකසන ලෙසට දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා පොලිසියේ ඉඩකඩ මදිවීම හෝ සැකකරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා අයිතිවාසිකම් යටපත් කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටි මහතා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

ගනේමුල්ලේ සංජීව ඝාතනයට ගිනි අවිය සැපය වූයේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා හමුවී නීති උපදෙස් ලබා ගැනීමට හැකි පරිසරයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නොමැති බවට ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

සිය සේවා දායකයා හමුවීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ගියත් , එහි තදබදය වැඩිවීම හේතුවෙන් රහස්‍යභාවය සුරකිමින් පුද්ගලිකව නිසි උපදෙස් ලබා ගැනීමට නොහැකි වූ බවත් , නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබිණි.