(රෝෂන් තුෂාර)

අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ සිටි පාතාල කල්ලි සාමාජික  නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක්කටා'  ට සහන සැලසීමට රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 20ට අඩුකර රුපියල් කෝටි 12ක් නදුන් චින්තකගේ බිරිඳගෙන්  ලබාගත්තේ යැයි කියන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.

ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණක් ඉදිරිපත්ව නොමැති බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය. 

අල්ලස් පනත යටතේ ඉදිරිපත් කරන සැකකරුවකු ට ඇප ලබාදීමට  සුවිශේෂී කරුණු ඉදිරිපත් විය යුතු බවට  ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.