(සුජිත් හේවාජුලිගේ)

ගල් අඟුරු  සම්බන්ධයෙන්  ගල් අඟුරු කොමිෂන් සභාව  හිටපු බලශක්ති  අමාත්‍ය පාඨලී  චම්පික රණවක මහතාගෙන් ඊයේ (2) වැනිදා  පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත

කොමිසමෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ඔහු  එම කොමිසම හමුවේ  පෙනී සිටියේය.

පාඨලී  චම්පික රණවක මහතා ගල් අඟුරු කොමිෂන් සභාවට මීට පෙර පැමිණ ගල් අඟුරු ප්‍රසම්පාදන අක්‍රමිකතා  ගැන පැමිණිල්ලක්ද  කළේය

තවද ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයා හිටපු ලේකම්වරුන් එම අමාත්‍යාංශයේ ප්‍රධානීන් ඇතුළු හැටකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සියයක් පමණ ලබාගෙන ඇතැයි  ජනාධිපති කොමිසමේ ලේකම් ඩී.වී බන්දුලසේන මහතා පැවසීය.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 28කි.

මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසීම  ලබන 6 වැනිදා සඳුදා ආරම්භ කිරීමට නියමිතය.

පැමිණිලි වල අඩංගු කරුණු සම්බන්ධයෙන් සවිස්තර වාර්තා කොමිසමට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන්ට ලබා දී තිබූ කාලසීමාව 30 වැනිදායින් අවසන් විය.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති අනුර  කුමාර දිසානායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ජනාධිපති කොමිසම පත් කරනු ලැබීය.

අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න එහි සෙසු සාමාජිකයෝ වෙති.

ඉකුත් 2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟුරු ආනයනයේදී සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනයට මෙම කොමිෂන් සභාව පත් කෙරිණි.

කොමිෂන් සභාවේ නිලධාරීහු පසුගිය 14 වැනිදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූහ.

මේ අතර මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 849 ක පමණ පාඩුවක් සිදුව ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව  යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ
පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදී ඇති වාර්තාවේ සඳහන්වේ.

කිසිදු නැවකින් මෙගවොට්   300ක් නිෂ්පාදනය කළ නොහැකි යැයි වාර්තාවේ දැක්වෙන බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරිකාර් මහතා පැවසීය.

එසේම ඒවායේ අළු ප්‍රතිශතය සියයට එකසිය දෙකකින් වැඩි බව පැවසූ මන්ත්‍රීවරයා එම ගල් අඟුරු වෙනුවෙන් තවමත් දඩ මුදල් අය කරගෙන නැතැයිද චෝදනා කළේය.

පසුගිය කාලයේ සිදු වූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් දැඩි කතා බහක් ඇති විය.