(අංජුල මහික වීරරත්න)

ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ අද (3) කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර නිකායේ මහා නා හිමියන් පන්නිපිටිය දෙව්රම් විහාරයේදී බැහැදුටුවහ.

මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසූයේ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මහා නා හිමියන් දැනුවත් කළ බවයි.

ඩොලර් හිඟය හේතුවෙන් උද්ගත වී ඇති ආර්ථික පීඩනය, දිනෙන් දින ඉහළ යන අයවැය හිඟය හමුවේ පොදු ජනතාව පිට පැටවී ඇති අසාධාරණ බදු බර,  අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම, නීති ක්ෂේත්‍රයේ පවතින ගැටලු, "දිට්වා" ආපදාවෙන් විනාශයට පත් වූ පොදු මාර්ග කඩිනමින් පිළිසකර නොවීම නිසා ජනතාව විඳින පීඩාව සහ සම්බුද්ධ ශාසනයටත් ආගමික සාරධර්ම වලටත් එල්ල වී ඇති බලපෑම් ආදී වර්තමානයේ රට මුහුණ දී ඇති බරපතළ අර්බුද රැසක් පිළිබඳව මහා නා හිමියන් සමඟ සාකච්ඡා කළ බව ජී.එල් පීරිස් මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභාපති වජිර අබේවර්ධන සහ සාගල රත්නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලසන්ත අලගිවන්න මහත්වරු ඇතුළු දේශපාලන නායකයෝ මීට සහභාගී වූහ.

(ඡායාරූප ප්‍රදීප් පතිරණ)