ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන ගැටුම් ඇවිලෙද්දී, යුක්රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කී, විශේෂ සංචාරයක් ආරම්භ කරමින්, සෞදි අරාබියේ රියාද් බලා පැමිණියේය.

නොකඩවා සිදුවන රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ලබා ගැනීම සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව පැවැසෙයි.

සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ගෙන් යුක්රේන ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

යුක්රේනය සතු දියුණු ඩ්‍රෝන තාක්ෂණය සහ ඒවා භාවිත කිරීමේ අත්දැකීම් ගල්ෆ් කලාපයේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ලබා දීමට තමන් කැමැති බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ සෞදි කුමරු අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

මේ වනවිට සෞදියට ද ඉරානයෙන් ප්‍රහාර එල්ල වෙයි. ඒ, සෞදියේ ඇමෙරිකන් ඉලක්කවලටය. තමන්ට එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නැයි සෞදිය ඉරානයට අනතුරු අඟවා ඇත.

මැදපෙරදිග හටගෙන ඇති අර්බුදය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ අස්ථාවර වීම වළක්වා ගැනීමට ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් සම්පත් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බව සෞදි කුමරු යුක්රේන ජනාධිපති හමුවේ අවධාරණය කළේය.

ඉරානයෙන් එල්ල වන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට යුක්රේන තාක්ෂණය භාවිත කළ හැකි බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සෞදි කුමරුන් හමුවේ පෙන්වා දුන්නේය.

යුක්රේනය සතු ඩ්‍රෝන තාක්ෂණය වෙනුවට මැදපෙරදිග රටවල් සතු ගුවන් ආරක්ෂක මිසයිල කම රටට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞදි කුමරු හමුවීමෙන් පසු සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් ද කළේය.

රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වීමට යුක්‍රේනයට දැනට පවතින මිසයිල ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. යුක්‍රේනයේ ඩ්‍රෝන නාශක තාක්ෂණික සමාගමක් වන ක්වර්ටුස් සමාගම පවසා ඇත්තේ සෞදි අරාබිය සහ කුවේටය වැනි රටවල් දැනටමත් ඔවුන්ගේ සහාය පතා ඇති බවය.

කෙසේ නමුත්,  මෙම ආරක්ෂක ගනුදෙනු සඳහා යුක්රේන රජයේ නිල අවසරය මෙතෙක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.