(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ යුරෝපා කොමිසමේ දූත පිරිසක් අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

ජී. එස්.පී ප්ලස් සහනය දීර්ඝ කරනවාද නැද්ද යන්න පිලිබදව කරුණු අධ්‍යනය සදහා අදාල දූත පිරිස මෙරටට පැමිණ සිටින අතර ඒ අතරතුර එම පිරිස විපක්ෂ නායකතුමා හමුවිය.

ජී. එස්. පී ප්ලස් සහනය අපේ රටට විශාල ශක්තියක් බවත්, එය අඛණ්ඩව අපේ රටට ලබා දීම සඳහා අවශ්‍යකරන සහයෝගය ලබා ලබාදෙන ලෙසත් සජිත් පේමදාස මහතා එහිදී ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා ව්‍යසනය සහ වර්තමානයේ මුහුණ දෙන ගැටළු පිළිබඳව එහිදී දෙපාර්ශවය අතර දිර්ඝලෙස සාකච්ඡාවට ගැණුනු අතර ශ්‍රිලංකාව ඉදිරියට ගෙනයෑම උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා අදාල නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටි බවත් විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

මෙම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමඟි ජනබලවේගයේ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.